භූමදානය මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියේ කොටසක්. එය ඔවුන්ගේ ආගමික අයිතියක් – ඥානසාර හිමි

කොවිඩ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය පිළිබඳ ප්‍රශ්නයේදී ආණ්ඩුව ඒ පිළිබඳ නිසි හැදෑරීමකින් තොරව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී සිටින්නට යාම නරක තත්වයක් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.”අපි වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයො නෙවෙයිනෙ. මේ ප්‍රශ්නය පිළිබඳ හැදෑරීමක්, කියවීමක්, විශ්ලේෂණයක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී ඉඳලා මේ ආණ්ඩුත් නරක තැනකට පත්වෙනවා. නායකයොත්.

විශේෂඥ මණ්ඩලයක් පත්කරලා, ඒගොල්ලන්ගෙ නිර්දේශය දෙන්න. ඊළඟට ආගමික වශයෙන් ඉන්න ආගමික කණ්ඩායම් එකතු කරන්න. මේ වැඩපිළිවෙලක් පේන්න නෑනෙ ? මෙතන රාජ්‍ය ප්‍රතිපත්තියක් ගන්නවා පුච්චන්න කියලා එක වෙලාවකට ආරංචි වෙනවා, ආපහු ගෙනල්ලා ශීතකරණවල දානවා … මොකක්ද මේ තක්කඩි වැඩේ ??

මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. මොකද, ඒගොල්ලො විශ්වාස කරනවා මේ මහපොළවෙ ජන්මය ලබන්නෙ, මනුෂ්‍යයෙක් වෙන්නෙ මේ පසෙන් කියලා. ඒනිසා පසටම පොහොර වෙන්න ඕනෙ කියලා. ඒක මුස්ලිම් සංස්කෘතිය. ඒක ආගමික අයිතිය.

හැබැයි ඒ ආගමික අයිතිය වළදානකොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක ! මතක තියාගන්න දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්. මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. ආගමික ප්‍රශ්න සංවේදීයි. හැබැයි මම නම් පෙනී ඉන්නේ හරි දේ වෙනුවෙන් මිසක් ජනප්‍රිය මතය වෙනුවෙන් නෙවෙයි” යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *