උන් හා අපි – නිශාන්ත කමලදාස

උන් අපට වඩා දක්ෂ ය. කපටි ය. නූල් සූත්තර අදින්නට විශේෂයෙන් දක්ෂ ය. යටින් ගින්දර ගෙනියන්නට ඊටත් වඩා හපන් ය.

උන් බලං ඉන්නේම අපට කෙළවෙන තෙක් ය. උන්ගේ ප්ලෑන අපට උඩින් යන්න ය. උඩට ගිහින් අපට අත හෝදන්න ය.

මොකක් හෝ උප්පරවැට්ටියක් දමා මෙල්ල කර නොගත්තොත් අප ඉවර ය. අපේ ජාතිය ඉවර ය. භාෂාව හාන්සි ය. ආගම කපෝති ය.

තව ටික දවසකින් උන් අපේ රට අල්ලනු ඇත්තේ ය. අපේ ඉලක්කම් ගාණට වඩා උන්ගේ ඉලක්කම් ගාන වැඩි වනු ඇත්තේ ය. උන් ජංගිවල දමා බ්‍රෙසියර්වල හංගා උපත් පාලන ජෙල් අපේ ගෑණුන්ට දෙන්නේ ය. ඒවා වඩේ වලට මිශ්‍රකර විකුණන්නේ ය.

උන් සිව්පා එක්ටා ගිවිසුමේ නැගී ලංකාවට එනු ඇත්තේ ය. ඉසිස් එක හරහා අපට බැට දෙනු ඇත්තේ ය. ඊළම් කොඩියේ දැවටී අපේ රටට පාත්වනු ඇත්තේ ය. එන්ජීඕ කාරයින්ට මුවා වී මෙහි ගොඩ බසිනු ඇත්තේ ය. විල්පත්තුව ඇතුළු අපේ කැළෑ එළි පහලි කර පදිංචි වනු ඇත්තේ ය.

උන් තව නොබෝ දිනකින් පාලකයන් වී අප උන්ට කළ දේ උන් අපට කරනු ඇත්තේ ය. එහෙම වුනොත් නම් ඉඳලා හමාර ය.

දැන් ඉතින් ලොක්කන් වගේ හිටියට හෙට අනිද්දා දවසක අපේ රටේ දීම අප සොක්කන් වෙනු ඇත. එතකොට අපට පනින්නට සිදුවන්නේ ඉන්දියන් සාගරයට ය.

මේ කතාව අපේ උන්ට තේරේන්නේ නැත. අපේ උන් මෝඩ ය. අමු මෝල් මැටි ය. එහෙව් අපේ උන්ගේ කණෙන් රිංගීම උන්ට කජ්ජක් නොවේ.

අපේ නායකයෝ පාවා දෙන්නෝ ය. උන්ගේ නායකයින් වගේ නෙමේ ය. ඒ නිසා උන් කරන දෙයක් වගේ වගක් නැතිවා වගේ ඉන්නෝ ය.

අපේ දැන උගත් පරපුර රට ඉවර වෙනවා දකින විට වඩා හොඳ රටවල් හොයා පනින්නෝ ය. එකම සහනයකට තියෙන්නේ රට පැන්නත් උන්ගේ ඔලුව තවම මෙහෙ වීම ය. හදිසියේ හරි නැවත පැමිණ තම පැරණි ඉතිහාසය තුළ ජීවත්වීමට උන්ගේ ඇති කැමැත්තට පින්සිද්ධ වෙන්නට උන් අපට වෙනස් වන්නට ඉඩ නොදී පීඩනය යොදන්නෝ ය. ඒ නිසා ම රටට වඩාත් ආදරේ රටින් පිට ඉන්න අපේ එවුන් ය. ඒත් අපේ ඉලක්කම් ගණන වැඩි කර ගැනීමට එවුන්ගෙන් වෙන සෙතක් නැත. එවුන්ගේ පරම්පරාවේ එකකුවත් මේ අජූත දිවයිනට – අපේ පරාදීසයට නැවත නම් වඩිනු බොරු ය. ඒ නිසා ද උන්ගෙන් වැඩි යමක් බලාපොරොත්තු වීම තේරුමක් නැත.

එහෙම බැලුවහම අපි අනාථ ය.

පුදුමය මෙහෙම පරාජිකාවී හිතන අපි අනාථ නොවී සිටියෝතින් ය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *