පරික්ෂණ කෙරෙන්නේ නිළධාරින්ගේ හයියෙන්, ආණ්ඩුවෙන් පිටුබලයක් නෑ- කේ. ඩබ්ලියු. ජනරංජන

මේ රටේ මීට පෙර සිදු වූ වංචා දූෂණ අල්ලස්, නීතිය වැරදි විදියට යොදා ගැනීම, නීතිය නොතකා හැරීම යන සියලු දේවල් සම්බන්ධයෙන් වගකිව යුතු අයව නීතිය ඉදිරියට ගෙනත්, ඒ අයට රාජපක්ෂ යුගයේ මෙන් කැළේ නීතිය අනුව නොව රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක වෙන ලෙස2015 ජනවාරි මාසේ 08වෙනිදා මේ රටේ පාලකයින්ට ලක්ෂ 62ක ජනතාවක් ජනවරමක් දුන්හ.
දැන් මේ ආණ්ඩුව පත්වෙලා වසරකුත් මාස දෙකක් ගෙවි, අගොස්තු මාසයේ ආණ්ඩුවක් පත්වෙලා සෑහෙන කාලයකුත් දැන් ගෙවී අවසන් ය. පසුගිය කාලය තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පෙරට වඩා කිසියම් ආකාරයකට දියුණු කාර්යක්ෂම සහ විධිමත් භාවයක් තිබෙන බවක් අපිට පෙනේ. නමුත් ඒ තත්ත්වයෙන් අපිට කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. මේ රටේ පුරවැසියන් හැටියට අපිට තවමත් පෙනෙනවා මේ ක්‍රියාවලිය පවත්වාගෙන යා යුතු ආකාරයට නියමාකාරයෙන් තවමත් පවත්වාගෙන නොයන බව. ඒ අතරේ නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එක පැත්තකින් ආණ්ඩුව ඇතුලෙන්මත්, ඒ වගේම ආණ්ඩුවට පිටතිනුත්, අනික් පැත්තෙන් විපක්ෂ බලවේග වලිනුත් සෑහෙන බලපෑමක් සිදුවන බව අපිට දක්නට ලැබේ. මේ සියලු කාරණා පදනම් කරගෙන තමයි අපි ඉදිරියට වැඩ කරන්නේ. මේ ආණ්ඩුව තරාතිරම නොබලා, පුද්ලගයා කවුද යන්න නොබලා, ඔහුගේ සම්බන්ධකම් මොනවාද යන්න නොසලකා, පසුගිය කාලය තුළ නීතිය කඩකල, නීතියට විරුද්ධව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහි ව සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වේ යැයි නීති ගරුක පුරවැසියන් ලෙස අපි බලාපොරොත්තු වෙමු.
ඒක ගැන සැක සංකා ඇතිකරන සමහර දේවල් අපිට දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස ඊයේ බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට තිබෙන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් වරයා ඒ ධුරයෙන් ඉවත් කළ බව අපිට දැනගන්නට ලැබී ඇත. ඒ වගේම සමහර වංචා දූෂණ සම්බන්ධයෙන් වගකිව යුතු, දැනට මේ ආණ්ඩුවේ සිටින සමහර මැති ඇමතිවරු ඒ වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට විරුද්ධව යම් බලපෑමක් කරන බව අපිට දැනගන්නට ලැබී ඇත. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කළයුතු අවස්ථා වලදී එය ක්‍රියාත්මක නොකර සිටින ස්වභාවයක් ද තිබේ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලයේ අලි ජාවාරම ඉතා බරපතල ලෙස සිදුවිය. කැලේ සිටින අලි පැටවුන් අල්ලාගෙනවිත් පන්සල් වල සහ පුද්ගලයින්ගේ ගෙවල්වල රඳවාගෙන ඇති දැඩි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය හ. මේක ව්‍යාපාරයක් ලෙසයි පවත්වාගෙන ගියේ. මේ සම්බන්ධයෙන් කිසිම පරික්ෂණයක් මහින්ද රාජපක්ෂගේ කාලයො සිදු නොවී ය. නමුත් මේ ආණ්ඩුව කාලයේ ඒ පරික්ෂණ ආරම්භ විය. එසේ ආරම්භ වී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන කරුණු සොයාබලා වගකිවයුතු භික්ෂු න් වහන්සේලා සහ මේ අලි ජාවාරම යෙදුනු පුද්ගලයින් හඳුනාගෙන ඇත. අපි දන්න ආනකාරයට මේ සම්බන්ධ පරික්ෂණ සෑහෙන දුරකට අවසන් වී ඇත. නීතිය නිසි ආකාරයට මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නම් මේ රටේ සාමාන්‍ය නීතිය අනුව සමහර පුද්ගලයින් සහ භික්ෂූන් වහන්සේලා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටිය යුතු ය. මක්නිසාද යත් පොදු දෙපොල පනත යටතේ මොවුන් ට චෝදනා පැවරිය හැක. නමුත් අපිට පෙනෙනවා විවිධාකාර හේතු නිසා මේ පුද්ගලයින්ට පුලුවන්කම ලැබී තිබෙනවා නීතියට හසු නොවී විවිධ ආකාරයට නීතියෙන් ගැලවී යන්නට. උදාහරණයක් ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළින ගමගේට ඉතාම පැහැදිළි ව තමාගේ සන්තකයේ සිටි අලිපැටවෙක් සම්බන්ධයෙන් නිසි ලියාපදිංචියක් ඉදිරිපත් කරන්නට නොහැකි විය.
ඔහු ඒ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රශ්නකළ විට, ඒ වනජීවි දෙපාර්තමේන්තුවට බොරු කිවේ ය. තාමත් ඔහුට ඒ අලිපැටවා සම්බන්ධයෙන් ලියාපදිංචිය පැහැදිළි කරන්නට නොහැකි වී ඇත. එහෙම තිබිය දී ඔහු පසුගිය දිනක පින්නවල අලි අනාථාගාරයට ගොස් තමන්ගේ බාරයේ සිටි අලිපැටවාව බලන්න ගොස් එතන තිබෙන සියලුම නීති රීති කඩකර ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු මේ ආකාරයට ක්‍රියා කළේ නම් නීතිය ඔහුට එරෙහිව ක්‍රියාත්මක වී එක්කෝ රක්ෂිත බන්ධනාගාරයක එහෙම නැතනම් අධිකරණයට ඉදිරිපත්කර කටයුතු කිරිම සිදුවේ. මේ පුද්ගලයා රටේ අධිකරණයේ නඩු අහන පුද්ගලයා නිසා දෝ කිසිම ආකාරයකින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමක් දක්නට ලැබෙන්නේ නැත.
මහේස්ත්‍රත්වරුන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන අධිකරණ සේවා කොමිසමක් තිබේ, එහි සභාපති අගවිනිසුරු ය. තව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙදෙනෙක් සිටිනවා සාමාජිකයින් ලෙස. මේ කිසිම කෙනෙක් මේ අලිජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු වන මේ පුද්ලගයා අධිකරණයේ නඩු ඇසීම ගැන කිසි පියවරක් ගෙන නැත. එවිට අපිට පෙනෙනවා සමහර පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන අතර තව අයවලුන්ට එරෙහිව ක්‍රිියාත්මක නොවේි.

අනික් එක්කෙනා උඩුවේ ධම්මාලෝක හාමැදුරුවෝ. අපි දන්නා ලෙස පසුගිය කාලයේ අලි පැටියෙක් කවුදො තමන්ගේ පන්සලේ දාලා ගියබවක් කීවේ ය. ඔහු තවමත් නිදැල්ලේ ඉන්නවා. ඔහුට එරෙහිව කිසිම විදියකට නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. මේකේ තියෙන භයානකත්වය වන්නේ මේ බලපෑම් පදනම් කරගෙන මේ පුදලගයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තමන්ට අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් එය වලක්වන ලෙස ඉල්ලා අධිකරණ නියෝග ගැනීම ය. අපි දන්නා ආකාරයට මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන්ව අත්අඩංගුවට ගන්නා බව දැනගන්නට ලැබී වාරණ නියෝගයක් ගත්තේ ය. මේ ආකාරයට දිගින් දිගටම සැකකරුවන් කටයුතු කළොත් රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට බැරිබව ඉතා පැහැදිළිව පෙනේ. අපිට පෙනෙන්නේ රජය පැත්තෙන් ගත්කළ මේ පරික්ෂණ පවත්වන නිළධාරීන්ට විශ්වාසයකින් යුතුව කටයුතු කළහැකි තරමට පිටුබලයක් ආණ්ඩුවෙන් නොලැබෙන බව. මේ පරික්ෂණ පවත්වන නිළධාරින් තනිවී සිටින්නේ. ඔවුන් තමන්ගේ හයියෙන් මේ පරික්ෂණ කරන්නේ. මේ පරික්ෂණ වලට සහය ලෙස ආණ්ඩුවෙන් ලැබිය යුතු පිටු බලයවත්, අනුමැතියවත් ප්‍රමානවත් ලෙස නොලැබෙන බව අපිට පෙනේ. එහෙයින් මේක බරපතල ප්‍රශ්නයකි. නීතිගරුක පුරවැසියන් ලෙස මේ ආකාරයට නීති මන්දගාමීව සහ පක්ෂපාතිව ක්‍රියාත්මක වනවා දකින්නට මේ වෙනසට දායක වූ පුද්ගලයන් හැටියට දකින්නට කැමති නැත. අපි ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කියන්නේ, ඔහු නාමල් රාජපක්ෂ වෙන්නට පුළුවන, යෝෂිත රාජපක්ෂ වෙන්නට පුළුවන, ඇය ශිරන්ති රාජපක්ෂ වෙන්නට පුළුවන, මහින්ද රාජපක්ස වෙන්නට පුළුවන, ගොඨාභය හෝ බැසිල් රාජපක්ෂ වෙන්නට පුළුවන. ඔවුන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුනම් ඔවුන් අත් අඩංගුවට ගතයුතු නම් ගතයුතුමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *