බයිඩන්ගේ කැබිනට්ටුවට ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක් – රජයේ ඉඩම් සහ වනෝද්‍යානත් ඇය යටතට

ඇමරිකාවේ ජනපති පදවියට පත් වීමට නියමිත ජෝ බයිඩන් විසින් සිය අභ්‍යන්තර කටයුතු ලේකම්වරියක ලෙස ආදිවාසික කාන්තාවක තෝරාගෙන ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ කැබිනට් තනතුරක් ප්‍රථම වරට ආදිවාසී කාන්තාවකට දැරීමට අවස්ථාව ලබා දෙමිනි.

ඩෙබ් හාලන්ඩ් (Deb Haaland) මෙවර කොංග්‍රසය වෙත තේරී පත් වී සිටින්නේ නිව් මෙක්සිකෝ ජනපදය නියෝජනය කරමිනි. ඇය එහි ආදිවාසී උරුමයේ පැතිකඩකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සැබෑ භූමිපුත්‍රයන්ගේ දියණියකි.

ඇමරිකාව පුරා විසිරී සිටින ආදිවාසී ඇමරිකානු ජන කොටස්වල විශාල ප්‍රසාදයක් මේ නාම යෝජනාව නිසා බයිඩන් වෙත හිමිව තිබේ.

ඇගේ නාම යෝජනාව තහවුරු වූ පසුව ඇය ස්වදේශික ගැටළු පිළිබඳව සොයාබැලීම ද භාරව කටයුතු කරනු ඇත.

එසේම බයිඩන්-හැරිස් පාරිසරික ඇජෙන්ඩාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද ඇයට විශාල වැඩ කොටසක් පැවරෙනු ඇත.

60 හැවිරිදි හාලන්ඩ් මෙනෙවිය, කොංග්‍රසය සඳහා එදා මෙදාතුර පත් වී ඇති ආදිවාසී කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් ද වේ.

කථානායිකා නැන්සි පෙලොසි ඇයව විස්තර කළේ ‘‘කොංග්‍රසයේ වඩාත්ම ගරු කටයුතු සාමාජිකයෙකු‘ ලෙස ය.

ඇය මීට පෙර කොංග්‍රසයේ ස්වභාවික සම්පත් කමිටුවේ ද කටයුතු කර තිබේ.

ඉදිරියේදී ඇමරිකාවේ තිබෙන අක්කර මිලියන 500 ක් වන ෆෙඩරල් ඉඩම් ප්‍රමාණයක්, ජාතික වනෝද්‍යාන 62 ක්, ෆෙඩරල් ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගෙන ඇති ස්වදේශික ගෝත්‍ර 574 කට අයත් ස්වදේශික ඉන්දියානුවන් මිලියන 1.9 ක් දෙනා ගේ සුබසාධනය සහ යහපැවැත්ම ඇයට භාරවනු ඇති.

ඇයට මෙම තනතුර ලබාදීම සඳහා ආදිවාසී ගෝත්‍ර නායකයන් 120 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ අත්සන්වලින් යුක්ත පෙත්සමක් ද මේ වන විට භාර දී තිබේ.

ඉසුරිනී මල්ලවආරච්චිඅවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/

Photo: Getty Images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *