yukthiya

මහජන උපයෝගිතා කොමිසම බිල්ලට දී පී. බී විදුලි හොරුන්ට මග සකසයි – නිමල් අබේසිංහ

 

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලය ගත් සැණින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ජනාධිපතිවරණ පොරොන්දුද අමතකව ගොස් ඇත. ජනාධිපතිවරණය සඳහා ඔහු රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විදුලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පොරොන්දුව අමු අමුවේ කඩකළේ තමන් එවැන්නක් රට හමුවේ ඉදිරිපත් කළ බවට වගේ වගක් නැතිවය. මෙහි නවතම සංසිද්ධිය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමරතුංග අමතා යැවු ලිපියකින් සඳහන් වනුයේ මහජන උපයෝගිතා කොමිසම වසාදමන ලෙසටය. මෙහි ඇති නීතිවිරෝධී භාවය ගැනවත් නොසලකා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වලං කඬේට පිනු ගොනා සේ දුරකථනය ඔස්සේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දන්වනු ලදුව දෙසැම්බර් 08 වෙනිදා ඔවුහු තනතුරුවලින් ඉල්ලා අස්වූහ. එහෙත් මහජන උපයෝගිතා කොමිසම් පනත ප්‍රකාරව කොමිසමේ සාමාජිකයින් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මතයකින් පමණි. එනම් ඔවුන්ට එරෙහිව විෂමාචාර චෝදනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එසේ කළේයැයි පාර්ලිමේන්තුවේදි ඔප්පුකර මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමෙන් අනතුරුවය.

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රකාශයෙහි විදුලිය සම්බන්ධ පොරොන්දුවක් විය. විදුලිය මිලදී ගැනීම් නවතා දමන බව එහි සඳහන්ය. එසේ තිබියදී දූෂිත විදුලි ගනුදෙනු 3 ක ගිවිසුම් කාලය දීර්ඝ කර ගැනීමට කැබිනට් සංදේශ ඉදිරිපත් කර ඇත. ඒ ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය (මෙගා වොට් 100) ඒසියා පවර් බලාගාරය (මෙගා වොට් 50) ඒස් මාතර (මෙගා වොට් 20) යන බලාගාර ත්‍රිත්වයෙත්ය. මේවායේ ගිවිසුම් කාලය 2021 අප්‍රේල් මාසයෙන් අවසන් වේ.

ඒ සියල්ල අතරේ 2021 අයවැය යෝජනා වල ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමේ යෝජනාවක්ද වූයේය. එසේ තිබියදී අයවැය යෝජනා ස්ථිර වීමටත් පෙරාතුව හොරාට පෙරාතුව කෙසෙල්කැණ වැට පනින්නාසේ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අමතා ලිපියක් යවමින් මහජන උපයෝගිතා කොමිසම වසා දමා එහි නිලධාරින් මුදල් අමත්‍යාංශයේ සැලසුම් අංශයට මාරුකර යවන ලෙස දැනුම් දී තිබේ.

මෙයනම් අමුතුම නියෝගයකි. එනම් පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතකින් පිහිටුවන ලද ස්වාධීන කොමිසමක් එසේ හිටි හැටියේ රාජ්‍ය නිලධාරියෙකුට අහෝසි කරන්නට හැකිද යන්නය. රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වන ආචාර්ය පී. බී. ජයසුන්දර මෙවැනි ලිපියක් ලියන්නට කඩිනම් වීමට කිසියම් හේතුවක් තිබිය යුතුය. එසේ නොවී ඔය තරම් ඉක්මණින් අත පුච්චාගන්නට ඔහු කඩිනම් නොවනු ඇත.

තමන්ගේ කටින් පිටවෙන නියෝග චක්‍ර ලේඛ සේ සලකන්නැයි පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද තවත් වාචික චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීමක්ය මේ සිදුව තිබෙන්නේ යන්න දැන් අපට විශ්වාස කිරීමට සිදුව තිබේ. නැතිනම් මේ හදිස්සියේ එවැන්නක් සිදුවන්නේ නැත.

ගජමිතුරන්ට සලකයි

මේ සඳහා ආසන්නතම හේතු ලෙස අපට උපකල්පනය කළ හැක්කේ කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 එල්. එන්. ජී. විදුලිබලාගාරය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව චීන සමාගමකට හිමිව තිබියදී එය එයට නොදී අන්ත දූෂිත එල්. ටී. එල් සමාගමට ලබාදීමට ගත් නීති විරෝධි උත්සාහයට මහජන උපයෝගිතා කොමිසම එකඟ නොවීමය.

මෙහිදී අවධාරණය කළයුත්තේ එල්. ටී. එල්. සමාගමේ අයිතියෙන් 63% ක් ලංකා විදුලි බල මණ්ඩලය සතුවුවත් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් රාජ්‍ය විගණනයට ලක්කිරීමට ඉඩ ලබා නොදීමය. මෙයම එහි බලධාරීන් දූෂිත අන්දමින් කටයුතු කරන බවට හොඳම සාක්ෂියය. කෙරවලපිටිය නව විදුලි බලාගාරය සම්බන්ධයෙන් එල්. ටී. එල් සමාගම ඉදිරිපත් කළ මිල ගණන් පවා සැක සහිතය. ඔවුන් බලාගාරය ඉදිකිරීම සඳහා මුළු වියදම ලෙස ඉදිරිපත් කර ඇත්තේ රුපියල් මිලියන 175 කි. එහෙත් මේ ඉදිකිරීම වෙනුවෙන් ඔවුන් ණය ලබාගැනීමට අපේක්ෂිත ජර්මන් බැංකුවකට ඉදිරිපත් කර ඇති අයදුම්පතට යා කර ඇති ලිපිවල සඳහන්වන්නේ ඉදිකිරීම් වෙනුවෙන් වන වියදම ඇමරිකන් ඩොලර් 300 ක් ලෙසටය. මෙවැනි වාතාවරණයක් පැවතියද ශ්‍රී ලාංකේය බලධාරීන්ට විශේෂයෙන් ජනාධිපතිවරයාට මේවා බරපතළ ප්‍රශ්න නොවේ. එල්. ටී. එල්. සමාගම කොතරම් දූෂිත වුවද ඒවා බලගතු ප්‍රශ්න නොවේ. ප්‍රශ්නය වී ඇත්තේ මේ වැරදි පෙන්වා දෙන ඒවාට එකඟ නොවන මහජන උපයෝගිතා කොමිසමය. 2009 වසරේදි එනම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද පනතක් ප්‍රකාරව පිහිටුවනු ලැබු මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයන් අතර ප්‍රධන වනුයේ විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමය. එය යහපත් ලක්ෂණයක් සේම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනතා ශුභසිද්ධිය වෙනුවෙන් සිදුකළ යුතු අනිවාර්ය රාජ්‍ය යුතුකමක් වගකීමක්ද වේ. එනයින් මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම ඉටුකර නැතිද ? අවශ්‍ය අවස්ථාවන්හිදී සහයෝගය දී නැතිද යන ප්‍රශ්නය මතුවේ. ඒ අතරේ ලංකා විදුලිබල මණ්ඩලය සිය වගකීම පැහැර හැර නැතිද ? ඒවා මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකරන ලද වැරදිද ?

ජනන සැලැස්ම කැලේට දැමීම

විදුලිබල මණ්ඩලය විසින් සකසන ලදුව මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කරන ලද දිගුකාලීන විදුලිබල ජනන සැලැස්මට අනුව ක්‍රියාත්මක කළයුතු විදුලි ව්‍යාපෘති බොහොමයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම ආචාර්ය පී. බී. ජයසුන්දර ලේකම්වරයාත් සමහරක් විටෙක නොදන්නවා විය හැකිය. එයට හේතුව ඔවුන් අබිමුවට ගොස් තමන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා ගතු කේලම් කියන උදවිය කිසිසේත්ම මේවා ගැන ඡායාමාත්‍රයක් හෝ අඟවන්නේ නැති බැවිනි. එසේ වීම ඔවුන්ට නිදහස්වීමට කාරණාවක්ද නොවේ.

එකී සැලසුම් පිළිබඳව විදුලිබල අමාත්‍යාංශයේ සහා විදුලිබල මණ්ඩලයේම තොරතුරුවලින් කරුණු ඉදිරිපත් කළ හැකිය. ලංකා විදුලිබල මණ්ඩලයේ වර්ෂ 2015 – 2034 දිගුකාලීන ජනන සැලැස්ම පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති අමතා යවන ලද එම ලිපියේ සඳහන් ආකාරයට ව්‍යාපෘති සම්බන්ධ විස්තර මෙසේය.

මේවායින් විදුලිබල මණ්ඩලය වඩාත් දතකෑවේ කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදිකිරීමටය. එයද එල්. ටී. එල් සමාගමට ලබාදීමටය. ඒ සඳහා විවිධ උප්පරවැට්ටිද යෙදු බව අපි දනිමු. මේ වන විට මන්නාරම සුළං විදුලිබලාගාරය විවෘත කර තිබේ.

අනෙක් සියළු බලාගාර ඉදිකර නැත. ඒවා ඉදිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ඇති කළ බාධාවන් මොනවාද ? එසේ නොවීනම් විදුලිබල මණ්ඩලය මේවා ඉදිකිරීම දිනෙන් දින කල් යැව්වේ ඇයි ? මේ ගැන ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම්වරයා සොයා නොබැලුවේ ද ? පිළිතුරු නැති විය හැකි මුත් එය සාධාරණ හෝ සෑහීමකට පත්වීමට හැකි පිළිතුරක් නොවේ. මේ 2015 – 2034 ලංකා විදුලිබල මණ්ඩලය ජනතා සැලැස්මේ අන්තර්ගත අනුමත ව්‍යාපෘතින්ය. ඒවා ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට මෙගාවෝට් 715 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතුවී හමාරය. එය ක්‍රියාත්මක නොකිරීමේ වගකීම පැවරෙන්නේ විදුලිබල මණ්ඩලයට මිසෙක වෙන කිසිවෙකුටත් නොවේ. එය පැහැර හැරිය හැකි හෝ ප්‍රතික්ෂේප කළ හැක්කක්ද නොවේ.

බලාගාර ඉදිකිරීම් කෝ

වර්ෂ 2016 නොවැම්බර් 18 දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සාලිය මැතිව්ගේ අත්සනින් යුතුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වයි. එම්. සමරසිංහ අමතා යැවූ ලිපියක් වේ.

pue/LI/TL/2016/56 අංකයෙන් යුතුව යවන ලද එම ලිපියට අනුව තවත් කරුණු හෙළිවේ. ඒ විදුලිබල මණ්ඩලය විසින් 2017 වසරේ සිට 2020 වසරවල් වලදී නිමාකිරීමට නියමිතව තිබූ විදුලි බලාගාර ව්‍යාපෘතිය. ඒවා මෙලෙස දැක්විය හැකිය.

මෙයට අමතරව සාම්පූර්හි ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට අවසර ලැබී ඇති අතර එය නිමකළ යුත්තේ 2021 දීය. මේවායින් මන්නාරම මෙ.වො 100 සුළං විදුලිබලාගරය මේ මස 08 වෙනි දින විවෘත කරනු ලැබීය. ප්‍රශ්නය වනුයේ මේවා ඉදිනොවීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් නොදී ගෙදර මුවහමට තැලීමට ජනාධිපතිවරයාත් ජනාධිපති ලේකම්වරයාත් කටයුතු කිරීමය.

විගණකාධිපතිගේ හෙළිදරව්ව

විගණකාධිපතිවයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ 2016/2017 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධන වාර්තාව නිකුත්කර තිබේ. එහි අන්තර්ගත සුවිශේෂි කරුණු මෙහිලා අතිශය වැදගත් වෙයි. ඒ තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ගේ සෑබැව හෙළිදරව් වනවාට අමතරව ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු එහි ඇතුළත් බැවිනි.

එකී වාර්තාවට අනුව මානව සම්පත් අංශයේ ප්‍රධානියා ලෙස ඉංජිනේරුවකු පත්කර ඇති අතර එය මණ්ඩලයේ බඳවාගැනීමේ පටිපාටියට විරුද්ධය. ඒ සඳහා අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුවකින්ද බඳවා ගැනීමේ පටිපාටිය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර නැත. එල්. ටී. එල්. සමාගමේ අයිතියෙන් 63% ක් විදුලිබල මණ්ඩලය සතු බැවින් ඒ සඳහා මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂවරු 4 දෙනෙකු පත්කර තිබේ. එසේ තිබියදීත් අයිතිය පිළිබඳව අදළ සමාගම කළ අභියෝගය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ස්ථාවරය දන්වා නැත්තේය.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ නිර්දේශ නොමැතිව “ෑ ීජකැ” ලෙස නව වැටුප් තලයක් ඉංජිනේරුවන් සඳහා පමණක් පිහිටුවා තිබේ. 2019 අප්‍රේල් 02 වන දින ලද නඩු තීන්දුවට අනුව ෑ ීජකැ වලට අදාළ චක්‍රලේඛය බලරහිත කර ඇත. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල තීරණයකින් එම චක්‍රලේඛයට අනුකූලවම වැටුප් ගෙවීම සිදුකරමින් පවතී. දැනගන්නට තිබෙන තොරතුරු අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවන් සංඛ්‍යාව 1200 ක් පමණය. ඔවුන්ට පමණක් අධිකරණ තීන්දුවද නොසලකා කැබිනට් අනුමැතියකින් නීතිවිරෝධි ලෙස වැටුප් ගෙවන්නේ ඇයි. කැබිනට් මණ්ඩලයට වුව නඩු තීන්දුවක් අභිබවා ගිය හැකිද ? උපයන විට බදු ගෙවිම (මේ පිරිසට වැඩියෙන්ම අයත්වන්නේ ඉංජිනේරුවන්ය) වෙනුවෙන් බදු මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලය 2010 වසරේ සිට 2018 වසර දක්වා ගෙවා ඇති මුළු මුදල රුපියල් 4,210,046,371 කි. 2018 වසරේදී පමණක් ඒ වෙනුවෙන් ගෙවා ඇති බදු මුදල රුපියල් 915,698,241 කි. උපයන විට බදු ගෙවීමේදී එම ඉපයීම ලබන පුද්ගලයා විසින් තම ආදයමින් එය ගෙවිය යුතුවත් කිසිදු රාජ්‍ය ආයතනයකින් නොකරන ආකාරයට විදුලිබල මණ්ඩලය විසින් මෙසේ බදු ගෙවීම පුදුම සහගතය. ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම්වරයාට මේ විනාශය නොපෙනේද ?

එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩලයේ හෝ මහා භාණ්ඩාගාරයෙන් කිසිදු අනුමැතියක් ලබා නොගෙන සිය සේවකයින් සඳහා දීමනා 39 ක් සුවිශේෂි දීමනා ලෙස ගෙවනු ලබයි. එසේම මණ්ඩලය සතු හා කුලියට ගත් වාහන පිළිබඳ දත්ත නිසි පරිදි පවත්වාගෙන ගොස් නැත.

විදුලිබල මණ්ඩල කාර්යාලය පවත්වාගෙන යාම සඳහා නාරාහේන්පිට ඉදිකරමින් සිටින විදුලක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2014 ඔක්තෝම්බර් 7 දින නැවතීමට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 41 කි. උතුරු වසන්තය සඳහා සපයන ලද විදුලි කනුවල ඇති අඩුපාඩු සහ ගුණාත්මක බවින් හීනවීම නිසා සිදුවූ පාඩුව මිලියන 46 කි. (මෙය 2014 වසරේදි සිදුව ඇත)

මාටියා ගැහැලි වලට පාරක්

මෙම විගණන වාර්තාවේ තවත් ඉතාම වැදගත් කරුණු දෙකක් අනාවරණය කර ඇත. එනම් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් විදුලිය ලබාගැනීමේදී මෙහෙයුම් හා නඩත්තු පිරිවැයෙහි ඇතුළත් පරිමාණ ගාස්තු සත්‍ය වශයෙන්ම දැරුවේද යන්න තහවුරු කිරිමකින් තොරව ගෙවා තිබීම පිළිගත නොහැක යනුවෙන් එහි සඳහන්ව ඇත. එසේම ඉදිරියේදී විදුලිය මිලදී ගැනීම් සඳහා වන ගිවිසුම් වලදී ඇතිකරන වියදම් වල සත්‍යතාව තහවුරු කරගත හැකි පරිදි කොන්දේසි ඇතුළත් කළ යුතුව ඇත. මේ වනවිටත් ඒස් ෆවර් ඇඹිලිපිටිය ඒසියා ෆවර් හා ඒස් ෆවර් මාතර පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය මිලදීගැනීම සඳහා වන ගිවිසුම් තවත් වසර තුනකට දීර්ඝ කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින්නේ විගණකාධිපතිවරයාගේ මේ යෝජනාව තඹේකට මායිම් නොකරමිනි. ඉදින් ඒ තුළ රහසක් ඇත්තේ නැතිද ?

අනෙක් සුවිශේෂි කාරණාව වන්නේ එල්. ටී. එල් සමාගම සම්බන්ධ කාරණාවකි. එය මෙලෙස නීතිපතිගෙන් ලංවීම ලබාගත් පිළිතුර මත එල්. ටී. එල්. හොල්ඩින්ග්ස් සමාගම විගණකාධිපතිවරයාගේ විමසුමට ඇති මුත් විදුලිබල මණ්ඩලය එයට ප්‍රතිචාර දක්වා නැත. එහිද බලගතු රහසක් තිබේ. කිසියම් අයුරකින් එල්. ටී. එල් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් විගණකාධිපතිවරයාගේ විමසුමට ලක්වුවහොත් එහි සිදුවන දූෂණ වංචා එළියට එනවා පමණක් නොව ඒවාට සම්බන්ධ වූවන්ගේ තොරතුරු පවා එළියට එනු නියැතය. එසේ වුවහොත් එම වංචා හා දූෂණ මෙන්ම මුල්‍ය අවභාවිතාවන් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවු මුල්‍ය අවභාවිතාවන් වංචාවන් දූෂණයන් සියල්ල අභිබවා යනු නියතය. හැකිනම් මෙකී යෝජනාව ක්‍රියාත්මක කර එල්. ටී. එල්. සමාගම හා එයට අනුබද්ධ සමාගම් පූර්ණ විගණනයකට ලක්කරන මෙන් අපට අභියෝග කළ හැකිය.

ලංකා විදුලි පෞද්ගලික බලාගාරයේ හිටපු සභාපතිවරයකු වන බන්දුල චන්ද්‍රසේකර විසින් ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

“විදුලිබල මණ්ඩලයට පෞද්ගලික තාප බලාගාර මගින් විදුලිය මිලදී ගැනීම නිසා සිදුවන වාර්ෂික පාඩුව රුපියල් බිලියන 80 ක් ලෙස ගණන් බලා ඇත. එනමුදු සිදුකරනු ලබන තාක්ෂණික වංචා නිසා එම අගය ඊට වඩා ඉහළ අගයක් ගනී. පෞද්ගලික බලාගාරවලින් රුපියල් 26 ක් වැනි සාමාන්‍ය අගයකට විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම් ගතවනුයේ වර්ෂයකට අවම වශයෙන් දින 300 ක් වත් එකී බලාගාරයෙන් විදුලිය මිලදී ගන්නා මිල සූත්‍රයකට අනුවය. එනමුත් එම බලාගාර ක්‍රියාත්මකව ඇත්තේ දින 75 ක් වැනි සුළු කාලයක් පමණි. ගිවිසුම් ප්‍රකාරව ජනනය කරන විදුලි ඒකකයකට පමණක් නොව ප්‍රාග්ධන ආයෝජනයද පියවෙන අයුරින් ඒකක මිල තීරණය වීමේ සූත්‍රයට අනුව අවසානෙයේදී එම සමාගමට ඒකකයක් සඳහා රුපියල් 60 ක පමණ මුදලක් ගෙවනු ඇත. මෙසේ මිලදී ගන්නා විදුලි ඒකකයක් පාරිභෝගිකයාට අලෙවි කරන්නේ රුපියල් 16 කටය. මේ අනුව විදුලිබල මණ්ඩලයේම සුදු කරපටි දූෂිතයින් නිසා මණ්ඩලයට සිදුවන පාඩුව සුළුපටු එකක් නොවනු ඇතිය.

විදුලිබල මණ්ඩලයේ සේම එල්. ටී. එල්. සමාගමේද තවත් තොරතුරු අප සතුව ඇතත් ඒවා පිළිබඳ දිගු විස්තරයක් ලිවීම මෙහිදි සිදු නොවේ.

අඩුමිලට විදුලිය ගත හැකිය

මන්නාරමේ ඉදිකළ සුළං විදුලිබල ව්‍යාපෘතිය විවෘත කරනු ලැබුවේ දෙසැම්බර් 08 වෙනිදාය. එයට අදාළ ප්‍රවෘත්ති විකාශයේදී කියවුනේ මෙම විදුලි ඒකකයක මිල රුපියල් 7 ත් 8 ත් අතර මිලක් වන බවය. ගල් අගුරු හෝ ඉන්ධන භාවිතයෙන් නිපදවනු ලබන විදුලිය ඒකකයක මිල අවම වශයෙන් මෙයට වඩා තුන් ගුණයකින් ඉහළ බව පෙනෙයි. එහෙත් විදුලිබල මණ්ඩලය සූර්ය හා සුළං විදුලිය නිෂ්පාදනය කිරීම දිගින් දිගටම කල් දැමුවේ නැතිනම් අත්හැරියේ මන්ද යන ප්‍රශ්නය මෙහිදි පැන නගී. ඒ ඇයිද යන්න දැන් නම් කාටත් සක් සුදක් සේ පැහැදිලි වනු ඇත. එවැනි නිපදවීම් කල්දමා දිගින් දිගටම පෞද්ගලික විදුලිබලාගාර වලින් විදුලිය මිලදී ගැනීම කරා යොමුවන්නේ කාගෙ කාගෙත් සාක්කු පිරෙන නිසා හැර වෙන කිසිවක් නිසා නොවේ.

ඇමරිකාවෙන් විදුලිය මිලදී ගැනීමට පෙළඹෙන්නේද මෙකී හේතුව නිසාය. සූදානම එල්. එන්. ජී ඉන්ධන සැපයුම ගැනය. කෙරවලපිටිය ප්‍රථම විදුලිබලාගාරය ඉදිකළේද මෙලෙසම කියමින්ය. එහෙත් තවමත් එය ක්‍රියාත්මක වනුයේ දැවි තෙල්වලිනි. ඒ අතරේ අමරිකාවේ සිට ගෙනෙන නැවකින් මුහුදේ සිට ඛගභගඨ ඉන්ධන සැපයීමේ සූදානමක් ද ඇත. එය මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කඩිනම නැව ගෙන ඒමටය. එහෙත් මුහුදේ සිට බලාගාරය දක්වා සැපයුම් මාර්ගයක් නැත. එය ඉදි නොකර එවැන්නක් ගැන සිතීමද විහිළුවකි. අපට එය විහිළුවක් වුව මේවාට සම්බන්ධ වුවන්ගේ නම් අත කට පිරෙන ආදායම් මාර්ගය. ඒවා ගැන නොසොයා මහජන උපයෝගිතා කොමිසමේ බොටුව මිරිකීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා කැසකවන්නේ මේ සියලු දූෂිතයින්ට යාමට අවශ්‍ය මාර්ගයේ වැට කඩොළු බාධා ඉවත් කිරීමටය. එය සෞභාග්‍ය දැක්මේ කොන්දේසි ඇස්පනාපිටම කඩකරන ක්‍රියාදාමයකි.

නිමල් අබේසිංහ

රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *