අපි හාල් මිල පාලනය කරන්න යන්නෙ නෑ, අස්වනු කැපෙනකොට මිල අඩුවෙයි – වෙළඳ ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන

වෙළඳපොලේ සහල් මිල ඉහළ මට්ටමක පැවති රජය එය පාලනය කිරීමට නොයන බවත් ඉදිරියේදී වී අස්වනු නෙළන සමය වනවිට සහල් මිල පහළ බසිනු ඇති බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

“කොවිඩ් 19 නිසා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇතිවෙනවා. හිඟ වෙච්චාම මිල වැඩිවෙනවා. මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි, අපේ ජීවිත කාලයේ නොතිබුණ අසාමාන්‍ය ලෝක තත්වයක්. ලෝකයේ සැපයුම් ජාලය සම්පූ‍ර්ණයෙන් කඩාවැටිලා තියෙන තත්වයක් තුළ කලින්ටත් වඩා හොඳ මිල තත්වයක් පවතී කියලා හිතනවා නම් ඒ ලෝක තත්වය ගැන නොදැනුවත්කම තුළ ඇතිවෙන සිතුවිල්ලක්”

ප්‍රශ්නය – සහල් ලංකාවෙ තියෙන දෙයක් නේ. ඇයි ඒ සහල් මිල පාලනය කරගන්න බැරි ?

“සහල් මිල පාලනය කරන්න ගිය ආණ්ඩුවෙ ප්‍රතිපත්තියනෙ කරන්න ඕනෙ. අස්වැන්න කැපෙන්න ළඟ තිබියදී ඉන්දියාවෙන් සහල් ගෙන්නලා වෙළඳපොලේ පුරවනවා. එතකොට රුපියල් 85කට සහල් කිලෝවක් දෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මේ රටේ නිෂ්පාදනය කළහැකි දේ ආනයනය කිරීම තහනම් කරලා මේ රට ඇතුළෙ නිෂ්පාදනය කරලා මේ රටේ ජනතාවට ඒ ආදායම ලබාගන්න ඉඩදෙන එක”

ප්‍රශ්නය – මේ වෙනකොට කීරි සම්බා කිලෝ එක 140යි, සම්බා කිලෝ එකක් 130යි …

“ඒක අපි පාලනය කරන්න යන්නෑ, මොකද හේතුව තව ටික දවසකින් අස්වනු කැපෙනකොට ඒක පල්ලෙහාට ගමන් කරනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාලා ගහපු ගැසට් එක අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔබතුමාලා හිතනවාද ?

“ඔව්, අසාර්ථක වුණාට කමක් නෑ. මොකද මේ රටේ ගොවියන් රකින්න, පහසු ක්‍රමය කරලා ඉවරවෙලා මුළු රටක විනාශ කරන වැඩපිළිවෙලකට අපේ ආණ්ඩුව යන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (15) වෙළඳ අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *