මහින්ද මෙල්ල වූ පසු ජනාධිපති සමග එකගතාවකට ඉඩ ඇත- ගාමිණි වියන්ගොඩ

ජනතාවගේ අපේක්ෂා ඉටු Gamini-Viyangoda-Colombo-Telegraphනොකිරීම පිළිබඳ වත්මන් ආණ්ඩුව කෙරෙහි කළකිරීමක් ලියලමින් ඇති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුමට එරෙහිව වෘත්තිකයෝ පෙළගැසෙමින් සිටිති. තවත් පැත්තකින් ගොවි ජනතාව අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව වැසිවිලි නගති. පොහොර සහනාධාරය ද මේ වනවිට මහත් අවුලක් බවට පත්වී ඇත. තේ සහ රබර් මිල පහත වැටීම පිළිබඳව ද ඇත්තේ ද මේ හා සමානම අඳෝනාවකි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින බව ය. ඒකාබද්ධ විපක්ෂය මේ සියලු කාරණා තම වාසියට හරවා ගැනීමට සූදානම් ව සිටිති. මහින්ද රාජපක්ෂ මෙයට නායකත්වය සපයන බව නොරහසකි. මේ ආකාරයට ඉදිරියට ගියහොත් ජනවාරි 08වෙනිදා පරාජය කළ බලවේගය ඊ ළග වටයේ දී නැවතත් බලයට පැමිණිමට බැරිකමක් නැත.

පවතින තත්ත්වය තුළ ඉන්දියාව සමග වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීම යහපත් වන නමුත් මේ ගැන ආණ්ඩුව පැත්තෙන් ජනතාව දැනුවත් නොකිරීම බරපතල අඩුපාඩුවකි. බොරු බිල්ලෙක් මවා පැමට විරුද්ධ පාර්ශවයට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ මේ අඩුපාඩුකම් නිසා ය. රජයේ මාධ්‍ය මේ සඳහා ප්‍රයෝජනයට ගතහැකි නමුත් එය සිදුවන්නේ නැත. අනික් අතට ලංකාවේ වී ගොවිතැන පිළිබඳව ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබිය යුතු ය. ඉතා විශාල වශයෙන් සහනාධාර ලබාදී සහතික මිලකට අස්වැන්න ලබාගැනීමට රජයට සිදු වී තිබේ. මේවාට වැයකරන්නේ පොදු මහත් ජනතාවගේ බදු මුදල් ය. ප්‍රමාණවත් තරමේ වී අස්වැන්න ලබාගත නොහැකි ප්‍රදේශවල තවදුරටත් වී ගොවිතැන් කරනවාද යන්න රජය කල්පනාකර බැලිය යුතු ය. මේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබිය යුතු නමුත් එවැන්නක් ගැන කල්පනාකරන බවක් වත් පෙනෙන්නට නැත. අනික් අතට මිනීමරුවන් හා දූෂිතයන් පිළිබඳව කෙරෙන පරික්ෂණ පිළිබඳව ජනතාවට ඇත්තේ සැකයකි. යෝෂිත හැරුනුවිට පැහැදිළි සාක්ෂි තිබිය දීත් වෙනත් කිසිවෙකු අත්අඩංගුවට පත්වෙන පාටක් පෙනෙන්නට නැත. අත් අඩංගුවට ගත්තත් ටික දිනකින් ඇපමත නිදහස් වන්නට පුළුවන. එයින් පසු වසර ගනනාවක් ඔය නඩු ඇදෙන්නට පුළුවන. ප්‍රධාන ගනයේ අපරාධ ඉතා ඉක්මනින් විභාග කළ නමුත් එවැනි ක්‍රමයක් අනුගමනය කරනවාද යන්න පැහැදිළි නැත.

දේශපාලන පැත්තෙන් ගතහොත් ආණ්ඩු ප්‍රතිසංස්කරණය තව ටිකක් ඉදිරියට යන්නට හැකි නමුත්ප විශාල පරිවර්තනයක් සිදුවේද යන්න කිව නොහැක. මේ අවුල ඇතිවූයේ ජනාධිපතිවරයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත් දිනයේ සිටම ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්කලේ පොදු අපේක්ෂකයා ලෙස බව කවුරුත් දනිති. එතන දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගැන කථාවක් තිබුනේ නැත. එහෙත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ජනාධිපතිවරයා බාරගත් සැනින් එහි අනාගතය පිළිබඳ වගකියන්නට ඔහුට සිදුවිම වැළැක්විය නොහැක.
මේ අවුල ඇතිවීම කෙරෙහි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පමනක් නොව ජනවාරි 08 ව්‍යාපාරයට නායත්වය දුන් ඇතැම් නායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ද වගකිව යුතුය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පැවති පාර්ලිමේන්තුව තවදුරටත් තබා ගැනීමට යෝජනා කිරීමෙන් ඒ අය බරපතල වරදක් කළේ ය. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට ගියේ නම් එක්සත් ජාතික පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නට ඉඩ තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ආණ්ඩු සංකල්පය ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වාසියක් වි ඇත.

රටේ දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට මෙවැනි එකගතාවයක් ඇති වන්නේ නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ලැබිය යුතු සහයෝගය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලබාදෙන්නේ නැත. ඒ අය දැන් මේ ප්‍රතිංස්කරණවලට බාධාවක් වී ඇත. ව්‍යන්‍ස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව ඒ අය ඉන්නේ පරන තැනම ය. ව්‍යවස්ථාව වෙනස් කරනවා වෙනුවට ඒ අය දැන් කියන්නේ සංශෝධනයක් ප්‍රමාණවත්වන බව ය.

මේ තත්ත්වය වෙනස් කරගන්නට නම් එක්සත් ජාතික  පක්ෂය ස්ථාවර වියයුතු ය. ඒ සඳහා පලාත් පාලන මැතිවරණය යොදාගත හැක. එසේ නොවන්නේ නම් මහින්ද රාජපක්ෂව හොඳටම මෙල්ල වූවාට පසු ජනාධිපතිවරයා ඔහු සමග එකගතාවයකට යන්නට ඉඩ තිබේ. එසේ වූවහොත් ඉදිරි මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් වනවා නොඅනුමානය. ඒ මැතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයගතහොත් ජනවාරි 8ට පෙර තිබුණු තත්ත්වයට රට නොවැටෙන නමුත් සිංහළ බොද්ධ ආධිපත්‍යය නැවත හිස ඔසවනවා නොඅනුමානය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *