වසර ගණනකට පසු රටටම බලපාන සුළි කුණාටුවක් – හෙට (2) සවස හෝ රෑ දිවයිනට ඇතුළු වේවි – අවධානයෙන් සිටින්න

ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය අද (01) උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ලංව ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ වනවිට එය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන බවත් හෙට (02) උදෑසන වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.

මෙම සුළි කුණාටුව බටහිර නැඹුරුව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවත් එය මඩකලපුව හා පේදුරුතුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට දෙසැම්බර් 02 (බදාදා) සවස හෝ රාත්‍රී කාලයේ ඇතුළුවීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

අඩු පීඩන තත්ත්වයක් ලෙස ආරම්භ වී මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඇති එය මේ දක්වා හැසිරී ඇති ආකාරය අනුව ගමන් මග වෙනස් වන බවක් පෙනෙන්නට නැත. ක්‍රමයෙන් වඩාත් චණ්ඩ වෙමින් පවතින මෙම පීඩන අවපාතය සුළි කුණාටුවක් වූ විට ඒ සඳහා නමක් ද ලැබෙනු ඇත.

මෙවැනි සුළි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළුවන්නේ වසර ගණනාවකට පසුවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවුක කටයුතුවලින් වැළකී සීටින ලෙස දැනුම් දෙන බවයි. එමෙන් ම දැනට ධීවර කටයුතුවල නිරතව සිටින සියලු දෙනාට ගොඩබිමට පැමිණෙ ලෙස හෝ ආරක්ෂිත කලාපයකට යාත්‍රා කරන ලෙස කාලගුණ දෙපාපර්තමේන්තුව දැනුම් දෙයි.

හෙට (02) අනිද්දා (03) දින දෙකෙහි උතුර, උතුරු මැද, නැගෙනහිර , වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව යන පළාත් සියල්ල අධී අවධානම් තත්ත්වයක පවතින බවයි. සෙසු පළාත් ද තරමක් අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

CNH

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *