මහර බන්ධනාගාරයේ රැඳවියන් 8 ක් මරුට – 50 ක් රෝහලේ

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.සිද්ධියෙන් තුවාල ලැබූ 50 දෙනෙකුට වැඩි පිරිසක්  ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ද සිටිති .

තුවාල ලබා සිටින එක නිලධාරියකුගේ තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය.

රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට ගෙන රඳවා සිටි නිලධාරීන් දෙදෙනකු අද උදේ මුදාගත් බව ද වාර්තා වී ය.

මහර බන්ධනාගාරය තුලින් කොවිඩ් ආසාදිතයින් 183 දෙනෙක් ඊයේ සොයා ගැනීමත් සමග රෝගීන්ගෙන් තමන් වෙන් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ආරම්භ වී තිබේ.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.

කෙසේවෙතත්, ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.

රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ. මෙම ස්ථාන මගින් සියලු රන්දවියන්ට කොවිඩ් බෝවීම වේගවත් වනු ඇතැයි කියමින් මෙම ගිනි තැබීම සිදුකොට ඇති බව කියති.

ඇතිවු ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමට පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද උදේ 5,00 පමණ වනවිට ද බන්ධනාගාරය තුලින් වෙඩි හඬ ඇසුණු බව ප්‍රදේශවාසීහු කියති.

බන්ධනාගාරය තුළ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *