වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ මහින්ද රාජපක්ෂ පිළිබඳ සමාන්තර ප්‍රහේළිකා – මුතුක්‍රිෂ්ණා සර්වානන්දන්

දකුණේ දේශපාලනික ප්‍රජාව නියෝජනය කරන කටහැකර රොත්තක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට කැසකැවීම සහ උතුරේ දේශපාලනික ප්‍රජාවගේ තව කටහැකර රොත්තක් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුප්ත නාමය යළි නැගිටුවීමට කැසකැවීම අතර ඇත්තේ සමානත්වයකි.

එල්.ටී.ටී.ඊ, නායකයාගේ මරණයෙන් පසු, එම මරණය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ සෑහෙන පිරිසක් උතුරේ සිටියහ. බොහෝ කාලයක් යන තෙක්, “අපේ නායකයා නොමළ” බව ඔවුහූ තිරසාරව කියා සිටියහ. සිය නායකයා, මුලින් එරිත්‍රියාවටත්, දෙවැනුව කියුබාවටත් පළා ගොස් ඇති බව ඔවුහු එදා ජප කළහ.

ඒ ආකාරයෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2015 ජනවාරි 8 වැනි දා පරාජය භාර ගැනීම ඔහුගේ බොහෝ අනුගාමිකයෝ ප්‍රතික්ෂේප කළහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍ර්‍රහණයේ වැඩි ඡන්ද ප්‍රමාණය විශාල එකක් නොවුණත්, එම ජයග්‍රහණය ඔහු අත්කර ගත්තේ, මහින්ද රාජපක්ෂ පාවිච්චියට ගත් රාජ්‍ය සම්පත්වල පූර්ණ ශක්තියත්, ඔහුගේ ගජමිතුරු ධනපතියන්ගේ සහ පෞද්ගලික ව්‍යාපාරික හෙංචයියන්ගේ මහා ආර්ථික ශක්තියක් ඉදිරියේ බවත්, අප මතක තබාගත යුතුය.

ප්‍රභාකරන්ව ශාරීරිකව ඉවරයක් කර දැමීම, ඔහුගේ දේශපාලනික පරාජයක් නොවන බව උතුරේ අන්තවාදියෝ කියති. එසේම, පසුගිය ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජය වීම ඔහුගේ දේශපාලනයේ පරාජයක් නොවන බව දකුණේ අන්තවාදියෝ කියති. මේ අනුව, උතුරේ මෙන්ම දකුණේද හෙංචයියෝ රයිගමයා සහ ගම්පලයා මෙනි.

රාජපක්ෂ පාලනයේ අවසානය ආරම්භ වුණේ, බොහෝ දෙනා සිතන පරිදි, 2014 නොවැම්බර් මාසයේ මෛත්‍රිපාල සිරිසේන සහ තවත් කිහිප දෙනෙකු එම ආණ්ඩුව අතහැර පැමිණීම සමග නොවේ. ඇත්ත වශයෙන්ම එම අවසානය ආරම්භ කෙරුණේ, 2012 පැවති නැගෙනහිර පළාත් සභා ඡන්දය, 2013 පැවති උතුරු පළාත් සභා ඡන්දය, 2014 මාර්තු මාසයේ පැවති දකුණු සහ බස්නාහිර පළාත් සභා ඡන්ද සහ 2014 සැප්තැම්බර් මාසයේ පැවති ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵල සමගයි. නැගෙනහිර සහ උතුරු පළාත් සභාවල බහුතර බලය අත්පත් කර ගැනීමට ආණ්ඩුව අසමත් විය. දකුණු පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව සහ ඌව පළාත් සභාව ආණ්ඩුව ජයග්‍රහණය කළත්, ඔවුන් සතුව තිබූ ඡන්ද ප්‍රමාණය විශාල වශයෙන් අඩු විය.

කෙසේ වෙතත්, මෛත්‍රිපාල සිරිසේන 2014 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැර යාම සමාන වන්නේ, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් 2004 මාර්තු මාසයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන්ව හැර යාමටයි.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ගුප්ත ඕජාව ඔසවා තැබීමට වලිකන පිරිස තම අළුත්ම ආයුධය වශයෙන් පාවිච්චියට ගැනීමට බලන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ඩයස්පෝරා ජනතාව අතරේ එක දිගටම මුදල් එකතු කරමින් සිටින බවටත්, ආයුධ සපයා ගැනීම් කරතැයි සැකයක් ඇති බවටත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත-විරෝධී බියුරෝව මෑතකදී නිකුත් කළ ප්‍රකාශනයකි. ත්‍රස්ත-විරෝධී බියෝරෝව නිකුත් කළ මෙම නිවේදනයේ ඇත්ත වශයෙන්ම අළුත් කිසිවක් නැත. 2009 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කළ දා පටන් හැම වසරකම මෙම කාරණය මේ ආකාරයෙන්ම මේ වාර්තාවේ නැවත නැවතත් පෙන්වා දී තිබේ.

ඉතිං, මේ වසරේ තියෙන අළුත් දේ කුමක්ද? මිනිස් ඝාතනය, මංකොල්ලය සහ ම්ලේච්ඡත්වය මුල් කරගත්, 2005 සිට 2015 දක්වා ගෙවුණු රාජපක්ෂ තන්ත්‍රයට දැන් අළුතෙන් එල්.ටී.ටී.ඊ. පුනරුත්පත්තියක් පිළිබඳ ව්‍යාජ බිල්ලෙකු හමු වී තිබේ. ඉහත සඳහන් වාර්තාවේ අන්තර්ගත කරුණු බොරු වන බවක් මෙයින් අදහස් නොකෙරේ. දෙමළ ඩයස්පෝරාවේ සිටින එල්.ටී.ටී.ඊ, වලිග කෑලි විසින් ආයුධ එක්කාසු කිරීම්වලට අතගසා ඇතැයි යන්න ගැන මේ ලියුම්කරුගේ වැඩි විශ්වාසයක් නැතත්, එහි සඳහන් වෙනත් කරුණු සැබෑ බවට සැකයක් නැත.

බටහිර රටවල් සහ ඇමරිකාව සමග ශ්‍රී ලංකාව වඩාත් මිත්‍රශීලී සම්බන්ධතාවක් පවත්වා ගැනීම වඩාත් වැදගත් වන්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික අපනයන් සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය නැවත හිස එසැවීම වැළැක්වීම අරභයාද, එම බටහිර රටවල් සහ ඇමරිකාව සමග ශ්‍රී ලංකාව මිත්‍රශීලී සම්බන්ධතා පවත්වාගත යුතුව ඇත්තේය. තනිකරම ඒ කාරණය සම්බන්ධයෙන් පමණක් ගත්තත්, මහින්ද රාජපක්ෂව නැවත බලයට පත්කිරීමට ගන්නා සෑම තැතක්ම ශ්‍රී ලංකාවේම විනාශයට තුඩුදෙනු ඇත්තේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීම සඳහා, විශේෂයෙන් ඇමරිකාව සහ ඉන්දියාව විසින් ලංකාවට සපයන ලද බුද්ධිමය තොරතුරු සහ වෙනත් ලූහු ආධාර තීරණාත්මක වූ බව අප මතක තබා ගත යුතුය. ඒවා ශ්‍රී ලංකාව කෙරෙහි ඒ රටවල් දැක්වූ අනුග්‍රහයන් වශයෙන් සැළකිය යුතුව තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීම සඳහා චීනය විසින් සපයන ලද බැර ආධාර (ආයුධ ආදිය) අපට ලැබුණේ වාණිජමය කොන්දේසි යටතේ ය. ඒවා, හුදු අනුග්‍රහයන් නොව, ව්‍යාපාරික ගනුදෙනු ය. මේ නිසා, අප විසින් ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් හඳුනාගත යුතුව තිබේ.

1971 දී ආරම්භ කරන ලද රාජ්‍ය ත්‍රස්තවාදය, 1980 දශකය සහ ඉන් පසුව ඇති වූ කොටි ත්‍රස්තවාදයේ පෙරගමන්කරු විය. රාජ්‍ය ත්‍රස්තවාදය සහ කොටි ත්‍රස්තවාදය යනු එකම කාසියක දෙපැත්තකි. මේ නිසා, රාජ්‍ය ත්‍රස්තවාදය සහ කොටි ත්‍රස්තවාදය යන උවදුරු දෙකම පරාජය කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය හිමි වුවද, මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එකතු වනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ වාර්ගික සංහිඳියාවට හතුරු කම් කිරීම සම්බන්ධයෙන් ගත් විට, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකට පමණක් දෙවැනි වන්නෙකු වශයෙනි. ඊටත් වඩා, ඔහු කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීමෙන් පසු 2009 සිට කර ඇත්තේ, කොටි ත්‍රස්තවාදය වෙනුවට ඊට අඩු මට්ටමේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ස්ථාපිත කිරීමයි. එවැන්නක් ඊට කලින් අප අත්දැක නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කැපී පෙනෙන අංගරාග වෙස්ගැන්වීම් හෝ නාටකීය රඟපෑම්ලින් මේ රටේ ජනතාව රැවටීමට 2015 දී ඔහුට නොහැකි විය. උතුරේ හෝ දකුණේදීවත්, නැගෙනහිර හෝ බස්නාහිරදීවත් එය සාර්ථක කර ගැනීමට ඔහු අසමත් විය. ලබන අගෝස්තු 17 වැනි දා, මේ රටේ ජනතාව කළ යුත්තේ නැවත වරක් ඒ කාර්යයෙන් ඔහුව පරාජය කිරීමයි.

‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *