කලාකරුවන්ට උපන්දින සුබපැතුම් එවන්න අමාත්‍යංශයක් අවශ්‍ය නෑ – සංගීතවේදි එච්.එම්. ජයවර්ධන

‘‘උපන් දිනය දවසට සුභ පතන්න එකයි, මැරුණාම ශෝක ප‍්‍රකාශයක් එවන එකයි’’ විතරක් නම් රජයෙන් කලාකරුවන් වෙනුවෙන් කරන්නෙ,  ඕකට වෙනම අමාත්‍යාංශයක්  ඕනෙ නැහැ. ඒ ටික ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ටයි, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ටයි ලේසියෙන් කරන්න පුලූවන්.

තරුණ වයසේ සිටින පිරිස එකට එකතු වී රංචු ගැසීම සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් එකට එක් වූ විට, හොඳ නරක නොවිමසා යමක් කිරීම සිරිතකි. ඔවුන්ගෙන් ඇතැමෙක් යහපත් ක‍්‍රියාවලටත්, තවත් පිරිසක්  අයහපත් ක‍්‍රියාවලටත් පෙළඹෙති. සමාජ මෙහෙවරයන් පිළිබඳව අපට ලබා ගත හැකි පැරණිතම සාක්‍ෂිය ලබා ගත හැකි වන්නේ වසර 2600 කටත් පෙර බුද්ධ කාලයෙනි. අං`ගුත්තර නිකායේ මහාලී සූත‍්‍රයේ එන මදමානවක කතාවේ එන මදමානවක කුමරු ප‍්‍රමුඛ තරුණ පිරිස ප‍්‍රබල සමාජසේවාවක් සිදු කරන බව සඳහන් වේ.

එදා මෙදාතුර දේශගවේශකයන්, කඳු තරණයකරන්නන්, මුහුදු මංකොල්කරුවන්, මංපහරණන් වැනි විවිධ තරුණ කණ්ඩායම් ගැන අපි අසා ඇත්තෙමු. මෑතක දී තරුණ කණ්ඩායම්හි ක‍්‍රියාකාරකම්  පිළිබඳ ව අප රටෙන් වාර්තා වන්නේ එතරම් සුභදායක පුවත් නොවේ. ඔවුන් එක්ව යන විනෝද චාරිකාවලදී ජලාශවල නෑමට ගොස් ජීවිත අහිමිවීමේ ශෝක ජනක පුවත්, එසේ නැතැනම් හදිසි අනතුරු පිළිබඳ පුවත්, සමූහ අපචාර, මංකොල්ලකෑම් වැනි පුවත් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යයන්හි අපමණ වාර්ථාවෙයි. එහෙත් යමෙක් හො යම් පිරිසක් එක්ව කරනු ලබන සමාජ සත්කරයක් පිළිබඳව සටහනක් ඉදිරිපත් කිරීමට මාධ්‍යයන් බොහෝවිට මැලි වෙයි. ඒ අපේ මනස ඍණාත්මක දේවල් කියවීමට හුරු කර ඇති නිසායැයි සිතේ.

මා එච්.එම්. ජයවර්ධන නමැති සංගීත ශිල්පීයා සමග කරන සම්මුඛ සාකච්ඡුාව ආරම්භ කිරීමට පෙර, ඉහත හන් පූර්විකාව කළේ සියනෑ කෝරළයේ ගම්පහ, යක්කල හා අවට තරුණයන් පිරිසක් එක්ව කළ සද්කාර්යයක් පිළිබඳ විස්තරයක් සටහන් කිරීම උචිත යයි හැ`ගුන නිසා ය.

බොහෝවිට සංගීතයට ලැදි තරුණයන් එක් වී කරනු ලබන්නේ සංගීත ප‍්‍රසංගයක් සංවිධානය කිරීමය. එයට ඔවුන් තෝරා ගන්නේ ජනප‍්‍රියත්වයක් ඉහළ අගයක් උසුලන සංගීත කණ්ඩායම්ය. ඊළ`ගට ඔවුන් තෝරාගන්නේ ජනප‍්‍රිය රැුල්ලේ හිනිපෙත්තේ සිටින ගායක ගායිකාවන්ය. ඔවුන්ගේ අයකිරීම් අද වන විට එක ප‍්‍රසංගයක ගීත කීපයක් ගැයීමට රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලකි. (එහෙත් ඉන් එක රුපියලක්වත්, එම ගායකයන් ගයන ගී තනු නිර්මාපකයාටවත්, ගීත රචකයාටවත් නොලැබේ* එක් එක් ගායකයාට අනුග‍්‍රහයකත්වය දැක්වීමට විවිධ ව්‍යාපාරිකයන් සිටිති. ප‍්‍රදේශයේ වයින් ස්ටෝර්ස් එකෙන්, රෙස්ටොරන්ට් එකෙන් පටන්ගත්විට ගමේ සිල්ලර කඩය දක්වා අනුග‍්‍රහකයන් සිටිති. ගමේ පාසැලේ දියුණුවට අරමුදලක් එකතුකිරීමට සූදානම් වන වීට එයට විරුද්ධව උද්ඝා්ෂණය කරන, ගමේ පන්සලේ වැඩකට සිමෙන්ති කොට්ටයක් ඉල්ලූවිට පන්සල පැත්ත පළාතේ නොයන, ගමේ පොදුවැඩකට රුපියල් දහයක් වියදම් කරන්න ලෝභ කම් කරන මොවුන්ට එවන් හරසුන් ඝෝෂාකාරී සංගීත ප‍්‍රසංගයක් සඳහා රුපියල් ලක්‍ෂ ගණනින් වියදම් කිරීමට ලෝභ නොවීම දක්නට ලැබෙන සුලබ සිද්ධියකි. ‘‘……….. ? කලර්ස් නයිට්’’ වැනි ප‍්‍රසංගවල බැනර් කටවුට් අපට නිතර දකින්න ලැබේ. මෙවන් පසුබිමක් සැකසීම අහම්බයක් නොවේ. ඒ ගැන විචාරශීලී මනසකින් සිතා බැලීමට ඔබට බාරය.

මම ඉහත සඳහන් කරන සහෘද හිතැති සියනෑ පුතුන් කළේ උඩුගම් බලා යෑමකි. ඔවුන් කථිකාකර ගන්නේ මේ වන විට තරමක් අසනීප තත්ත්වයක පසුවන එච්.එම්. ජයවර්ධන නමැති සංගීතඥයාට ඉතාමත් උසස් අන්දමින් ප‍්‍රනණාම උපහාර උත්සවයක් පවත්වා, සුලකියයුතු මුදල් ප‍්‍රමාණයක් පරිත්‍යාග කිරීමටය. එය ඔවුන් නම් කර තිබුණේ ‘‘වනස්පති මියැසි අරණේ මුනිවර දැහැන – එච්.එම්. ජයවර්ධන ප‍්‍රතිභා ප‍්‍රණාම සම්භාෂණය’’ යනුවෙනි. එවන් සද්කාර්යයක් කළ ‘‘වනස්පති’’ තරුණ කැලට අගයකිරීම් වස් තබනු ලැබූ මෙම සටහන අවසන් කරමින් දැන් එච්.එම්. ජයවර්ධන නමැති විශිෂ්ඨ සංගීතඥා සමග කරන ලද කතා බහට මෙතැන් සිට යොමු වෙමු.

එච්.එම්., ඔබ පිළිබඳ විස්තරයකින්ම කතා බහ ආරම්භ කරමු.

‘‘මම උපන්නෙ සියඹලාණ්ඩුවේ. ඒ 1955 දී. මගෙ තාත්තා ගෙවියෙක්.  තාත්තා මාව ඉස්කෝලෙ එක්ක ගියේ කරේ තියාගෙන. ඒ නියර දිගේ යනකොට දෙපැත්තෙ තියෙන ගොයම් ගස් මගේ ඇඳුමෙ ගැවෙන නිසා. මාව පාසැලට ඇරලලා පාසල අවසන් වනතුරු තාත්තා කඩපිලට වෙලා පත්තර බල බලා ඉන්නවා. ආපහු ගෙදර එන කොට දොළක් හමු වෙනවා. මම කියනවා නාන්න  ඕනෑ කියලා. මම ඇදුම් ටික ගලවලා හෙළුවැල්ලෙන් නානවා. මම නානකම් තාත්තා ගලක් උඩට වෙලා බලන් ඉන්නවා. අපි හේන් කොටන කාලෙට ඉන්නෙ ගෙදර නෙමේ. හේනෙම අටව ගත්ත පැලක. ඔය වගේ සුන්දර දේවල් වලින් තමයි මගේ ළමා කාලය ගෙවී ගියේ.

මම ශිෂ්‍යත්වයකින් පාස් වෙලා, සියඹලාණ්ඩුවෙ ඉස්කෝලෙ ඉඳලා පස්සර මහා විද්‍යාලයට යනවා. එහිදි මම සුබසිංහ කියන සංගීත ගුරුවරයාගෙන් සංගීතය ඉගෙන ගන්නවා. මම වඩාත්ම ඇලූම් කෙරුවේ බටනලා වාදනයට. මම පාසැලේදී සුබසිංහ මහත්තයා යටතෙ ඒ පිළිබඳව පුහුණුවක් ලැබුවා. පාසැල් අධ්‍යාපනයෙන් පස්සෙ මම නොයෙක් රැුකියා කෙරුව. ලී ඉරුවා. හේන් වගාකෙරුවා. ගමේ ලියුම් බෙදුවා.

මේ අතර දවසක් ගුවන් විදුලි සංස්ථාවෙන් දාපු දැන්වීමක් පත්තරේක තියනවා දැක්කා. ඒ බටනලා වාදන ශිල්පියෙක් අවශ්‍ය බවට ඇබෑර්තුවක්. මම ඒ පරීක්‍ෂණයට කොළඹ එනවා. එම පරීක්‍ෂණයට මුහුණ දුන්නත් මම එයින් අසමත් වෙනවා. මම අමරදේව මාස්ටර් හොයාගෙන ගිහින් මගේ ආසාව ගැන කියනවා. ඒ කාලේ මට ‘‘ඉයර් එකට’’ ප්ලේ කරන්න පුළුවන් වුනත් ස්වර කියවන්න පුලූවන් කමක් තිබුණෙ නැහැ. මම එය අමරදේවගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ වසන්ත ඔබේසේකරගෙන් ලිපියක් අරන් ගුවන් විදුලි සංස්ථාවට ගියහම ‘‘අනියම් බට නලා වාදක’’ කියන තනතුර ලැබෙනවා.  ඊට පස්සේ මම මේ ක්‍ෂේත‍්‍රයේ දිගටම ගියා.

සංවාදය අතරමග ඔහු තරමක නිහඬතාවයක් ඇති කළේය. ඒ ඔහුගේ අසනීප තත්ත්වය නිසාය. ඔහු වකුගඩු ආශ‍්‍රිත අසනීපයකින් පෙළෙයි. ඔහු වෙලාවට ගත යුතු බෙහෙත් ගැනීම සඳහා නිවස තුළට ගියේය.

එච්.එම්. ජයරත්න පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගීතනු නීර්මාණය කර ඇත. ඔහු අතින් නිර්මාණය වූ ගී තනු සංඛ්‍යාව දහසකට වැඩි මිසක් අඩු නැත. ඔහු චිත‍්‍රපට කිහිපයකට ද පසුබිම් සංගීතය සපයා ඇත. ඒ ‘‘කැලෑමල්, ආරාධනා, මුහුදු ලිහිණි, බුද්ධ පුත‍්‍ර’’ ඇතුළු තවත් චිත‍්‍රපට කිහිපයක් ද ඒ අතර වෙති. ‘‘මුහුදු ලිහිණි’’ තිරගත වූ වසරේ ‘‘හොඳම චිත‍්‍රපට පසුබිම් සංගීතය’’ වෙනුවෙන් ඔහුට සම්මාන පිදෙයි. එහෙත් ඔහු එම සම්මානය ප‍්‍රතික්‍ෂේප කරමින් පැවසුවේ ‘‘මුහුදු ලිහිණි චිත‍්‍රපටයේ මගේ පසුබිම් සංගීතයට වඩා ‘‘තුන්වැනි යාමය’’ චිත‍්‍රපටයේ පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය නිර්මාණශීලීයි. එම නිසා මෙම සම්මානය හිමිවිය යුත්තේ ඔහුටයි’’ කියාය. ඔහුගේ ඍජුගතිය, අවංකම කම ප‍්‍රකට කිරීමට තවත් උදාහරණ අවශ්‍ය නොවන්නේය.

ඔහු පැමිණෙන තුරු එච්.එම් හමුවීමට පැමිණි සිටි හිතවත් මාධ්‍යවේදියකුවන අරුණ ශාන්ති අතුකෝරල සමග එච්.එම්. තනු නිර්මාණය කළ ගීත ගැන කතා කළෙමි. එච්.එම්. ගී තනු අතර අමරදේවගේ – සඳ තරු නිහඬයි, ටී.එම්. ජයරත්න – සියක් ආයු ලැබ, රත්තරන් නෙත්, ඔබ හා මෙමා, මේ පුංචි රටේ, මට තනි නැත, පෙති ගෝමර, වික්ටර් රත්නායකගේ තුරු ළපලූ ලතාවෝ, විකසිත තරු ?නේ, සීතල පිනි බිංදු බිංදු, සනත් නන්දසිරි – වාසනා වේවා, එක යායක, පෙරදින මා දුටු, නන්දා මාලනී – මධුර ප්‍රේම කල්පනා, නවාතැන්පොළ, මා හඬනා කඳුළු, පෙම් ලොවදී දුටු, බුදු තාත්තෙ බොන්න එපා, පේ‍්‍රමය නම්, කඩමණ්ඩියේ ඇතුළු ගීත රැුසකි. නිරංජලා සරෝජිනී – මේ ග`ග, මිණි මිණි පෝදේ, ක‍්‍රිසාන්ත එරන්ද – වී පැදුරෙන්, අකාලයේ ඔහුගෙන් සමුගත් පියඹ මාලනී බුලත්සිංහල ගයන – රජමැදුරක, අහසින් තරුවක්, පුන්පෝදා සඳ, මළ පොතේ අකුරු ඇතුළු ගීත රැුසක් ඇත. ඔහු එකම ගීතයක් ගායනා කර ඇත. ඒ ආනන්ද පත්මසිරි ලියූ ‘‘ගංගාව මමයි’’ ගීතයයි.

එච්.එම්. යළිත් අප අතරට පැමිණියේය. මම යළිත් ඔහු හා දොඩමලූ වීමි. ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයීම ගැන පසුගිය දා ලොකු කතාබහක් ඇති වුණා. ඒ පිළිබඳව ඔබේ අදහස?

එකම තනුවකට විවිධ භාෂාවෙන් වචන යෙදු  ගීත ගායනා කිරීමට දිගු ඉතිහාසයක් තියෙනවා. අපි අතර ජනප‍්‍රීය සමහර ගීත වල තනු අපේ නෙමේ. ඒවා විදේශ ගීතවල තනු. ඉන්දියාවෙන් කොපි කෙරුවොත්නෙ අහුවෙන්නෙ. වෙනත් භාෂාවලින් ගායනා කරන ලද ගී  තනු අනුව ජනප‍්‍රිය වූ සිංහල ගීත රැුසක් තියෙනවා. එකෙ ගැටළුවක් නැහැ. සිංහල සිනමාව ජනප‍්‍රිය වීමට හින්දි ගීත තනු අනුව ගායනා කරන ලද ගීත බෙහෙවින් ඉවහල් වුනා. ජාතික ගීතයත් ඒ තනුවට, ඒ අදහසම වෙනත්  ඕනැම භාෂාවකින් ගායනා කළත් කමක් නැහැ. ඒත් ජාතික ගීය නම් එකම එක ගීතයක් පමණක් විය යුතුයි. එයටම සුවීය වූ අනන්‍යතාවයක් තිබිය යුතුයි. එය එකම ගීතයක් මිස වෙනත් වෙනත්, වෙනත්, භාෂා වලින් ගායනා කල ගීත කීපයක් ජාතික ගීතය නොවි යුතුයි යන්න මගේ අදහසයි. එයින් මම අදහස් කරන්නේ ද්‍රවිඩ විරෝධයක් ගැන නෙමෙයි. ජාතික ගීතයේ අනන්‍යතාවය ගැනයි.

සංස්කෘති දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කලා මණ්ඩලය බෙදාගන්න බැරිව කඹ ඇදිල්ලක් නිරත වෙනවා.  සංගීත, නර්තන, නාට්‍ය ඇතුළු කලා උළෙලවල් පවත්වන්නෙ කවුද? කියලා තවම නිගමනයක් නැහැ. රජය නියෝජනය කරමින් කලාකරුවාට සේවයක් කිරීමට බැඳී සිටින ආයතන මෙවැනි තත්ත්වයකට ඇදගෙන වැටුණම කලාකරුවාට සේවය කරන්නෙ කොහොමද කියන ගැටළුව ඇතිවෙනවා නේද?

කලාකරුවන්ට කෙසේ වෙතත් කලාවටවත් සේවයක් කරන්න රජයට  ඕනැකමක් තියෙනවද කියල මම නම් දන්නෙ නැහැ. ‘‘උපන් දිනය දවසට සුභ පතන්න එකයි, මැරුණාම ශෝක ප‍්‍රකාශයක් එවන එකයි විතරක් නම්’’ රජයෙන් කලාකරුවන් වෙනුවෙන් කරන්නෙ  ඕකට වෙනම අමාත්‍යාංශයක්  ඕනෙ නැහැ. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන්ටයි, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ටයි කරන්න පුලූවන් වැඩක්නෙ.

අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුව තව දුරටත් වෙහෙස කිරීම නුසුදු නිසා අවසාන වශයෙන් රෝග තත්ත්වය ගැන විමසුවෙමි.
මගෙ වකුගඩුවල තුවාල වගයක් තියෙනව. ඒක නිට්ටාවටම සනීප කරන්න අපහසුයි. ඒත් එය ව්‍යාප්ත නොවී මැඩපවත්වන්න බෙහෙත් ගන්නවා. මම බෙහෙත් ගන්නෙ කණ්ඩලමෙ කිරිබණ්ඩා වෙදමහතාගෙන්.  මාසෙකට සැරයක් ගිහින් බෙහෙත් අරගෙන එනවා.

ඉතින් මේ සඳහා ඔබට සැලකිය යුතු වියදම් දරන්න වෙනවා ඇතිනේද? ඔය කොහොමද ඔබ පියවගන්නෙ?
ඔව් මට බෙහෙත් ගේන්න යන්නම වෑන් එකට රුපියල් 10.000/- ක් ගෙවන්න වෙනවා. මම දැනුත් ඉඳහිට ගීතයක් නිර්මාණය කරනවා. සෙනසුරාදා දවස්වල මීගොඩ – ගොඩගම සංගීත පන්තියක් කරනවා. ඉතින් ඔහොම වැඩකටයුතු කරගෙන යනවා.

ඔහු සිනාසෙමින් පැවසීය. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්වත් වෙන ආයතනයකින්වත් උදව් කෙරන්නෙ නැද්ද?

සංස්කෘති දෙපාර්තමේන්තුවෙන් ලියමනක් එවලා තිබුණා හැඳුනුම්පතක් නිකුත් කරලා තියෙනවා ගන්න එන්න කියලා.

ඉතින් ඔබ හැඳුනුම්පත ගන්න යන්වද? මම ප‍්‍රශ්න කළෙමි.

ඔව්. ගන්න  ඕනැ. කලාකාරයයෝ හැඳුනුම්පත් ගත්තෙ නැත්නම් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙත්, කාලාව සම්බන්ධව කටයුතු කරන ආයතනවල නිලධාරීන්ටත් කලාකරුවන්ව හඳුරගන්න බැරිවෙනවනෙ.

ඔහු සුහද සිනහවකින් සංග‍්‍රය කර සංවාදය නිමා කළේ අසනීප තත්ත්වය මත නැගෙන වේදනාව අමතක කරමිනි. ‘‘මනෝජ්, මේක ශ‍්‍රී ලංකාව.’’ මගේ මිතුරා ශාන්ත කීවේ උපහාසයෙනි. එච්.එම්. ට නිරෝගී සුවයත්, දීඝායුෂත් පැතූ මම ඔහුගේ කුලී සිවසින් පිටත් වුනෙමි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *