මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි – GL

මද්‍රසා පාසල් වලට ද රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.”මෙම ප්‍රශ්නය කාවින්ද ජයවර්ධන මැතිතුමා අහන්නෙ මද්‍රසා පාසල් සම්බන්ධ අපේ ස්ථාවරය මොකක්ද කියලා. ඒකට උත්තරය ගරු මන්ත්‍රීතුමා, එක එක පාසල් එහෙම වර්ගීකරණය කරලා ඒවාට එක එක වර්ගවලට සීමා වෙච්ච ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නෙ නෑ. රටේ තියෙනවා රජයේ පාසල් තියෙනවා පෞද්ගලික පාසල් තියෙනවා ජාත්‍යන්තර පාසල් තියෙනවා ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් අපි අනුගමනය කරන පොදු ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒකට නිදහස දෙන්න ඕනෙ, කොයි විදිහේ පාසලකට වුණත්.

හැබැයි ඒ අධ්‍යාපනය ලබාදීමේදී මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ නීති පද්ධතියට ගරු කරමින් ඒවා උල්ලංඝනය නොකරමින් තමයි ඒ අධ්‍යාපන කටයුතු සලසා දෙන්න ඕනෙ. ඒ සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් අධීක්ෂණයක් කරනවා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය. ඒක පොදුවේ. අහවල් ඉස්කෝලෙට අහවල් ඉස්කෝලෙට කියලා වර්ගයකට නෙවෙයි, අපි සියලුම පාසල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය එයයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේම මෙම මද්‍රසා පාසල් සඳහා රජය අනුමත කර ඇති විෂය නිර්දේශයෙහි කිසිදු අන්තවාදී කරුණක් අඩංගු නොවන බව සහතික කළ ඒ මහතා මෙම පාසල්වල ඉගැන්වීම සඳහා විදෙස් රටවලින් පැමිණෙන දේශකයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සොයාබලන බවන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය වසරේදී, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම මද්‍රසා පාසල් සම්බන්ධයෙන් දැක්වූ දැඩි විරෝධය සිහිපත් කළ කාවින්ද ජයවර්ධන මහතා, තමන් මෙම ප්‍රශ්නය මතු කළේ ඒ පිළිබඳ පැහැදිලි කරගැනීමට බවත් සෘජු පිළිතුරක් ලබාදීම පිළිබඳව අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *