රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ පාස්කු දා ප්‍රහාරයවීමට පැයකට පෙර මෛත්‍රීට ඈමතුම් තුනක් දීලා – ජනපති කොමිසමේදී හෙළි වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර අවස්ථා තුනකදී දුරකතනයෙන් කතා කර තිබෙන බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (19) අනාවරණ විය.

හිටපු ජනාධිපතිවරයා සංගප්පූරුවේ සිටියදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මෙසේ දුරකතනයෙන් සම්බන්ධවී ඇති බවත්

පළමු ප්‍රහාරය සිදුවීමට පෙර පෙරවරු 7. 57ට, පෙරවරු 7. 59ට සහ පෙරවරු සහ 08. 01ට මෙලෙස සම්බන්ධවී ඇති බව අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ හිටපු ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවෙසේ දුරකතන හවුමාරුවේ පෙරවරු 8. 00ට වැඩ මුර ක්‍රමයට සේවයේ යෙදුණු ගුවන් හමුදා නිලධාරිව‍රයකු  පෙරේදා (19) කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකිනි.

පෙරවරු 7. 59 ට දුන් ඇමතුම තත්ත්පර 157ක්, පෙරවරු 8. 01ට දුන් අමැතුම තත්ත්පර 93ක් වශයෙන් ඇමතුම් කාලය පෙන්නුම් කරයි. ප්‍රහාරයෙන් පසුවත් නිලන්ත ජයවර්ධන මහතා පස්වරු 1. 10ට තත්ත්පර 687ක අමැතුමක් ඇතුළු ඇමතුම් ලබාගෙන ඇති බවද එම නිලධාරියා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර ඉකුත් වසරේ අප්‍රේල් 16වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය බවත්, ඉන් අනතුරුව සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා පිටත්ව ගිය බවත්, කොමිෂන් සභාව හමු‍වේ සාක්ෂි ලබා දෙමින් කියා සිටි ගුවන් හමුදා නිලධාරියා බොහෝ අවස්ථාවල හිටපු ජනාධිපතිවරයා සහ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවර‍යා දුරකතන හුවමාරව හරහා සම්බන්ධ වන බව ද කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා පුද්ගලික දුරකතනයක් භාවිත කරන බව මා දන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් සෑම විදේශගතවීමකදීම එතුමා සමඟ යනවා. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්බන්ධ කර ගන්නේ එතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා හරහායි.

එදිනත් දුරකථන හුවමාරුව ඔස්සේ පාස්කු ප්‍රහාරයට පෙර නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධ වුණා. බොහෝ අවස්ථාවල මෙලෙස සම්බන්ධ වෙනවා. හිටපු ජනාධිපතිවරයාත් ඔහුව සම්බන්ධ කර දෙන්න කියලා කියනවා. ඒ නිසා මට ඔවුන්ගේ දුරකතන ඇමැතුම් හොඳින් මතකයේ තිබෙනවා යැයිද ඒ නිලධාරියා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

දිනමිණ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *