ඇමෙරිකානු ජනපතිවරණය , කොරෝනා සාධකය සහ ජනමාධ්‍යය – සී ජේ අමරතුංග

 

ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වුයේ දින ගණනාවක් පැවති අවින්ශ්චිත බවකින් පසුව ය. වරෙක ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා ම තම තමන් ජයගන්නා  බව ප්‍රකාශ කළේ ය.

ඡන්දය ගැන අවසන් වනතෙක් ඉවසීමෙන් සිටින ලෙස ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉල්ලා සිටි අතර රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බව සහ තමන්ගේ ජයග්‍රහණය වංචාවෙන් කොල්ල කා ඇති බව යි. නීති විරෝධී ලෙස භාවිත කර ඇති ඡන්ද ගණන් නොකරන ලෙස පැවසු  ඔහු නීත්‍යනුකුල ඡන්ද වලින් තමන් ජයගෙන ඇති බව කී ය.

මේ මොහොතේ තීරණාත්මක වැඩ කොටස ඉටු කළේ ඇමෙරිකානු ජනමාධ්‍ය බව කිවහොත් වරදක් නැත. ඡන්දය ගණන් කරමින් සිටි රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරමින් ජනමාධ්‍ය කිවේ මහා පරිමාණ ඡන්ද දුෂණ ගැන කිසිදු සාක්ෂියක් නැති බව යි.

ඡන්ද ගණන් කිරීම ප්‍රමාණවත් පරිදි අවසන් වෙමින් තිබිය දී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ජනමාධ්‍යය  නිවේදනය කළේ ය. එය ඇමෙරිකානු සම්ප්‍රදාය යි. එරට ඡන්ද ගණන්කිරීම අවසන් කොට නිල ප්‍රතිඵල ලබාදීමට සති කිහිපයක් ගතවෙයි. ඒ අතර නිල වශයෙන් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජයග්‍රාහකයා කවුදැයි ජනමාධ්‍යය  විසින් ප්‍රකාශ කරනු ලබ යි. රට පිළිගන්නේ එලෙස ලබාදෙන ප්‍රතිඵලය යි. නිල ප්‍රතිඵල නිකුත්වීමත් , මැතිවරණයෙන් තෝරාගත් ඡන්ද විද්‍යාලයෙන් ජනාධිපතිවරයා නිල වශයෙන් පත්කිරීමත් , ජනාධිපති වැඩ භාර ගැනීමත්  මාස දෙකකට වැඩි කලක් ගතවන ක්‍රියා දාමයකි. නව ජනාධිපති නිල වශයෙන් වැඩ භාර ගන්නේ ජනවාරි 20 දා ය.

සාමාන්‍යයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු සාම්ප්‍රදායිකව සිදුවන්නේ පරාජිත අපේක්ෂකයා ඉක්මනින් ම පරාජය පිළිගෙන ජයග්‍රාහකයාට සුබ පැතීම යි. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සම්ප්‍රදාය අනුව කටයුතු කොට නැත. ඔහු කියන්නේ මෙම ප්‍රතිඵලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව යි.

ඇමෙරිකානු ජනමාධ්‍ය කියන්නේ ට්‍රම්ප් සම්ප්‍රදාය කැඩීම පුදුම වීමට හේතුවක් නොවන බව යි. එය ඔහුගේ පාලන කාලය පුරා ම පැවති ලක්ෂණයක් බව යි.

මෙම අවුල බලා සිටි මෙරට බොහෝ දෙනාට සිතෙන්නට ඇත්තේ ඇමෙරිකානු ඡන්ද ක්‍රමය අවුල් ජාලයක් බව වීමට ඉඩ ඇත. එසේ වන්නේ එය අපේ ක්‍රමයට වඩා බොහෝ සේ වෙනස් නිසා ය. එය අපට නුහුරු ය. එසේ වුවද ඇමෙරිකා  එක්සත් ජනපදය වසර දෙසිය හතළිහක් පාලනය වන්නේ මෙම ක්‍රමයට ය . එය තමන්ගේ ප්‍රජාතන්ත්රවාදී සම්ප්‍රදාය ලෙස ඇමෙරිකානුවන් පිළිගෙන ඇත. කිසිවකු එය හැල්ලුවට ලක් කරනවාට ඇමෙරිකානු ජනයා කැමති නොවෙති. ඡන්ද ක්‍රමය දුෂිත බව කියන්නට ගොස් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයන්ගේ ද අප්‍රසාදයට ලක්ව ඇත්තේ ඒ නිසා ය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය ඒක ය. එය අප තේරුම්ගත යුතු කාරණයකි.

මෙහි දී තේරුම් ගතයුතු තවත් කාරණයක් නම් , ඇමෙරිකාවේ විමධ්‍යගත බලයේ ශක්තිය යි.   තනි රාජ්‍යයක් ලෙස ශක්තිමත් ව සිටින ඇමෙරිකාව රාජ්‍ය 51ක එකතුවකි. ඇමෙරිකා එක්සත් ජනපදය ලෙස අප විසින් හඳුන්වනු ලැබුව ද , United States of America යන්නෙහි තේරුම ඇමෙරිකා එක්සත් රාජ්‍යයන් වැන්නකි.

මෙහි දී එය වැදගත් වන්නේ එරට රාජ්‍ය 51 ට මැතිවරණ නීති 51ක් තිබීම නිසා ය . ඇතැම් නීති සමාන වන නමුත් ඇතැම් නීති වෙනස් ය. නීති පැනවීමේ බලය ඇත්තේ එම රාජ්‍යයේ  ව්‍යවස්ථාදායකයට යි .

“එක රටක් ,එක නීතියක්” කියා එරටෙහි කියන්නේ නැත. එහි ඇත්තේ එක් එක් රටට වෙන ම නීති හදාගැනීමේ අයිතිය යි. එනම් වෙනස්ව සිතන්නට අනෙකාට ඇති අයිතියට ගරු කිරීම යි. එක්සත් රටක් පවතින්නේ එහෙම ය.

මෙවර ප්‍රශ්නයක් පැන නැගුණේ කොවිඩ් වසන්ගතයත් සමග යි. කොවිඩ් ව්‍යාප්තවීම බරපතළ ප්‍රශ්නයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගත්තේ නැත . ඔහුගේ උත්සාහය වුයේ කිසිවක් සිදු වී නැති ලෙස මැතිවරණයට මුහුණ දීම යි.

කෙසේ වෙතත් ,වැඩි වශයෙන් නාගරික පදනමක් තිබු ඩිමෝක්‍රටික් පක්ෂයට ප්‍රශ්නය දැනුනේ වෙනස් අකාරයකට ය. කොරෝනා තර්ජනය වැඩි වශයෙන් තිබුණේ නගරවල ය. ජනාකීර්ණ ප්‍රදේශවල ය. මෙහි දී ඩිමොක්‍රටික් පක්ෂය කළේ එරට තිබු නීතිය උපයෝගී කරගෙන කල්තබා තැපෑලෙන් ඡන්දය දීමට තම ඡන්ද දායකයන් පෙළඹවීම යි.

මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැපැල් ඡන්ද විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත්වන බව පෙනෙන්නට තිබිණි.

මේ අතර තවත් ප්‍රශ්නයක් වුයේ කොවිඩ් තත්ත්වය නිසාත් , තැපෑලට විශාල ඡන්ද ප්‍රමාණයක් මෙහෙයවීමට සිදුවීමත් නිසා තැපෑලේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව පෙනීයාම යි.

මේ නිසා පෙන්සිල්වේනිය රජය තම නීතියේ වෙනසක් කළේ ය. එනම් තැපෑලෙන් ලැබෙන ඡන්ද භාරගැනීමට අමතර දින තුනක් ලබා දීමයි.

එහි තෙරුම ඡන්දය දීමට දින ලබාදීම නොවේ. ඡන්දය දිනට පෙර තැපැල් කළ ඡන්ද මැතිවරණ දිනයට පසු දින තුනක් ඇතුළත ලැබුන ද , ඒවා ගණන් කිරීමට භාර ගන්නා බව යි.

නීති විරෝධී ඡන්ද පිලිබඳ  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චෝදනාව ගොඩ නැගෙන්නේ මෙතැන් පටන් ය. ට්‍රම්ප් කීවේ මෙය නීති විරෝධී බව යි. එය අත් හිටුවීමට ඔහු පෙන්සිල්වේනියා  ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ය. එයින්  ඔවුන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප වීය. ඊළඟට ඔහු ගියේ ෆෙඩරල් හෙවත් මධ්‍යම ශ්‍රේෂ්ඨාධිකරණයට ය. එයින් ද එය ප්‍රතික්ෂේප වීය. ඒ ප්‍රශ්නයක් වුවහොත් පමණක් නැවත එන ලෙස දැනුම්දීමක් සමග ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේ කොවිඩ් ගණන් ගත යුතු නැති බව යි. මැතිවරණ දිනයේ බිය නැතිව පැමිණ ඡන්දය දෙන ලෙස ඔහු තම ආධාරකරුවන්ට උපදෙස් දුන්නේ ය. විශාල රැස්වීම් තැබුවේ සෞඛ්‍ය ආරක්ෂාව නොතකමිනි. ආධාර කරුවන් බොහෝ දෙනකු මුව ආවරණ පවා පැළඳ සිටියේ නැත.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ගේ ඡන්ද ව්‍යාපාරය සම්පුර්ණයෙන් ම වෙනස් එකක්  විය. ඔහු දැවැන්ත රැස්වීම් තැබුවේ නැත. රැස්වීම් තැබුවේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව ය. එමෙන් ම ඔහු තම අනුගමිකයන්ට කිවේ මැතිවරණ දිනය එනතෙක් නොසිට තැපැල් මගින් හෝ පෞද්ගලිකව ගොස් හෝ තම ඡන්දය භාවිත කරන ලෙස යි.

මෙහි ප්‍රතිඵලය වුයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වැඩි දෙනකු තැපෑලෙන් ඡන්දය භාවිත කොට තිබීම සහ රිපබ්ලිකන් පාක්ෂිකයින් වැඩි දෙනකු මැතිවරණ දිනයේ  ඡන්ද භාවිත කොට තිබීම යි. මෙම තත්ත්වය වැඩි වශයෙන් ම පෙනෙන්නට තිබුණේ පෙන්සිල්වේනියාවේ ය.

මෙම තත්ත්වය තුළ මැතිවරණ දිනයේ ගණන් කළ ඡන්ද වල ඉදිරියෙන් සිටින්නට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගණන් බලා  තිබුනා  විය හැකි ය. එසේ වුයේ නම් තැපැල් ඡන්ද ගණන් කිරීම කෙසේ හෝ නවතා ජය හිමි කර ගන්නට සිතුවා විය හැකි ය. එයට ශක්තිමත් පදනමක් නැති බව ඇමෙරිකානු ජනමාධ්‍යය  කීව ද , ජනාධිපතිගේ උත්සාහය විය හැක්කේ එය යි. තවමත් ඔහු එම උත්සාහය අතහැර නැති බව ද පෙනෙන්නට ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උත්සාහය බරපතළ අර්බුදයකට ගියේ මැතිවරණ දිනයේ ඡන් ද ගණන් කිරීම්  වල දී පවා ඔහුට ඉදිරියෙන් සිටින්නට නොහැකි වීමෙනි. එදින ඔහුට හිමි වුයේ මැතිවරණ විද්‍යාල ඡන්ද 214ක් පමණකි. ප්‍රතිවාදී ජෝ බයිඩන් 253 ක් ලෙස ඉදිරියෙන් සිටියේ ය.

පෙන්සිල්වේනියාවේ ,ජෝර්ජියාවේ , ඇලස්කාවේ  සහ නෝත් කරෝලිනාහි ඒ මොහොතේ ට්‍රම්ප් ඉදිරියෙන් සිටියේ ය. ඒ සියල්ල එකතු කළ ද ඔහුට ලැබෙන්නේ විද්‍යාල ඡන්ද 268 කි.

නෙවාඩාහි සහ ඇරිසොනාහි බයිඩන් ඉදිරියෙන් සිටියේ ය. එම රාජ්‍ය දෙකෙන් ඔහුට අවශ්‍ය 270 ක විද්‍යාල ඡන්ද ප්‍රමාණය හිමිකරගත හැකිව තිබිණි. අනෙක් අතට ,පෙන්සිල්වේනියාවේ සහ ජෝර්ජියාවේ ද බයිඩන් ඉදිරියට එමින් සිටියේ ය.

මේ නිසා ට්‍රම්ප් සිටියේ උභතෝකෝටිකයකට මුහුණ දෙමිනි. පෙන්සිල්වේනියාවේ ,ජෝර්ජියාවේ ඡන්ද ගණන් කිරීම නවතන්නට කියන ගමන් ඔහුට සිදු  වී තිබුනේ නෙවාඩාහි සහ ඇරිසෝනාහි ඡන්දය දිගට ම ගණන් කරන ලෙස කියන්නට ය.

කෙසේ වෙතත් , ඔහුගේ අනුගාමිකයින් පිරිසක් හැර බොහෝදෙනා මේ කතා පිළිගත්තේ නැත. මාධ්‍යය ඔහුගේ ප්‍රකාශ ප්‍රචාරය අතරමග නවතා දැම්මේ පදනමක් නැති චෝදනා  කරන බව කියමිනි. සමාජ මාධ්‍ය ආයතන ඔහුගේ ඇතැම් පණිවිඩ ගලවා දැමීමට ක්‍රියා කළේ ය.

දැන් සියල්ල අවසන් ය. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ජයගෙන තිබේ . එය සර්ව සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන බව ඇත්තකි. එහෙත්, අලුත් දේ ගොඩනැගිය හැක්කේ තිබෙන ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමිනි.

බයිඩන් සමග එක්ව තරග වැද  ජයගත් නව උප ජනාධිපති කමලා හැරිස් කී පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යනු සදා නිම කළ යමක් නොවේ. නොනවතින අරගලයකි.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *