රාජපක්ෂලාගේ දේශපාලනයට වලංගුතාවයක් නෑ- මහාචාර්ය කුමාර් ඬේවිඞ්

Kumar-David-Colombo-Telegraphමා සිතන ආකාරයට ගියවසරේ ජනවාරි 8 ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවය තහවුරුවීමට ඇති ඉඩකඩ විශාල ය. නමුත් එය තහවුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම සතුටුදායක ලෙස නොවේ. රනිල් කිසියම් ආකාරයක තද පාලකයෙකු හැටියට මතුවීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක. එයින් අදහස් කරන්නේ සිංගපූර්වේ ලීක්වාන් යූ කෙනෙක් තරම් ඉදිරියට ගමන් කරනවාය යන්න නොවේ. නමුත් මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් එල්ල වෙන ජාතිකවාදී, එහෙමත් නැත්නම් ජාතිවාදි ප්‍රතිවිරෝධයන් මැඩපවත්වනු ඇත. තව දුරටත් මහින්ද රාජපක්ෂගේ වලංගුතාවයක් නැත. බොදුබල සේනාව නොවෙයි කුමක් පාරට බැස්සත් රනිල් ඒකට මුහුණ දෙන්නට සූදානම් බව පැහැදිළි ය. ඒත් සමගම රනිල් කිසිකෙනෙකුට ඇහුම්කන් නොදී ඉදිරියට යන්නට ඉඩ තිබේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කරන තර්ජනයෙන්ම රනිල් ගන්නට ඉඩ ඇති ස්ථාවරය පැහැදිළිකරගත හැක. ඒ ප්‍රතිගාමී බලවේගය පරාජය කිරීම පිළිබඳ අපි සතුටුවන අතරම එතනින් එහාට වීමට ඉඩ ඇති දේ පිළිබඳව ද තේරුම් ගැනීම අවශ්‍ය වේ. රනිල් ඇත්තටම බණ්ඩාරනායක, ඩඞ්ලි, ඇන්. ඇම් වගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු හෝ එහි අගයන් ආරක්ෂා කරන්නෙකු නොවේ. එහෙත් ඔහු බුද්ධියෙන් හීන අයෙක් ද නොවන හෙයින් උපායික වශයෙන් නම්‍යශීලි වෙන්නට පුළුවන. ඒ නිසා රනිල්ට අපි සහයෝගය දිය යුත්තේ ඒ ඒ තත්ත්වයන් යටතේ මෙන්ම විවේචනාත්මකව ය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යනවිට රනිල් සහ මෛත්‍රිපාල ජාතිවාදි බලවේගයන්ට බියෙන් සිටය හ. ජිනීවා ගොස් රනිල් විශාල අවදානමක් කරටගෙන කිසියම් එකගතාවයකට පැමිණියේ ය. එහෙත් ඔහු ලංකාවට එනවිට ජාතිවාදින්ට ඔහුට විරුද්ධව සැළකියයුතු විරෝධයක් එල්ලකරන්නට නොහැකි විය. ඒත් සමගම රනිල්ට බලවත් ආත්ම විශ්වාසයක් ඇති වූ බව පෙනෙන්නට ඇත. ඊට පසු යෝෂිත රාජපක්ෂ සහ ගලගොඩ අත්තේ ඥානසාර අත් අඩංගුවට ගැනීමට එරෙහිව ද තත්ත්වය එසේම විය. මේවා තුළින් ජාතිවාදි බලවේගයට කියන තරම් ශක්තියක් නැතිබව රනිල්ට නොව ඕනෑම අයෙකුට පැහැදිළිවිය යුතු ය. මගේ කල්පනාවේ හැටියට පලාත්පාලන මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළහොත් එජාපයට ඉදිරියට යන්නට කිසිම බාධාවක් නැත. දිගහැරෙන සාධක දෙස බැලීමේ දී මට පෙනෙන්නේ එජාපයට එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට අපහසු නැති බව ය.
මෛත්‍රි /රනිල් ආණ්ඩුවට ඇමෙරිකාව, එංගලන්තය ඇතුලුව සියළු ධනවාදි ආණ්ඩු හරි ආදරේ නමුත්, ආයෝජන එන්නේ නැත. හේතුව ආර්ථික වශයෙන් ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්න එයට වඩා විශාලවීම ය. සෘජු විදේශ ආයෝජන නැතිව මේ රට දියුණු කළ නොහැක. දේශිය ආර්ථිකයෙන් ගත හැකි ආයෝජනයන් සංවර්ධනයට ප්‍රමානවත් නොවේ. එහෙයින් ආර්ථික ප්‍රශ්නය පැත්තෙන් ගතහොත් මේ ආණ්ඩුවේ ආර්ථික අනාගතය එතරම් යහපත් නැත. පසුගිය අවුරුද්ද දෙස ආපසු හැරි බැළිමේ දී ඒ වසර සාර්ථක නැත. එකට හේතුව ආයෝජකයින්ට මේ රටේ පහසුකම් නොතිබීම යන කාරණය මා පිළිගන්නේ නැත. හේතුව වන්නේ ගෝලීය ධනවාදයේ ඇති අමාරුකම් හා අර්බුද නිසා ඒ අය ආයෝජනය කරන්නට අදිමදි කිරීම ය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයට ම පොදු තත්ත්වයකි. ඒක මේ ආණ්ඩුවට ආර්ථික පැත්තෙන් විශාල ප්‍රශ්නයකි. ඒ නිසා තමයි මේ ආණ්ඩුව ඉන්දියාවට වැඩි බරක් දමන්නේ. ඉන්දියන් ධනපති පංතියට ලංකාව තමන්ගේ පොකැට්ටුවේ ම එකකි. එකී ධනපති පංතියට නේපාලය, බංගලාදේශය, බුරුමය යන රටවලට ආයෝජනය කරන්නේ විශේෂ ප්‍රශ්නයක් නිසා ය. ඒක හරියට අල්ලපු ගෙරදර ණයක් දුන්නා වැනි ගණුදෙනුවකි. මේ නිසා ඉන්දියන් ආයෝජන කොතෙක් පැමිණේ ද යන්න කිව නොහැකි නමුත්, එය හරියට කරගත්තොත් ඉස්පහසුවක් ඇතිකරගත හැක.
මෙය සැළකිල්ලට ගතයුතු වන්නේ අපි තබා ඇති බලාපොරොත්තු වලට සාපේක්ෂව ය. අපි ධනේශ්වර විප්ලවය බලාපොරොත්තු වන්නේ නම් සිංගපුර්ව, කොරියාවේ සිදු වූ ආකාරයට මේ රට විශාල සංවර්ධනයකට ගෙනයෑමට ඇති හැකියාව අඩු ය. අනික් අතට චීනයත් සමග ගණුදෙනු කිරීමේ අපහසුවක් තිබේ. මහින්ද රාජපක්ෂ පගා හා අල්ලස් ගෙන ඒ සියල්ලම දැන් අවසානයකට ගෙනගොස් ඇත. අනික් අතට චීනයේ වර්ධන වේගය මෙ වන විට 6.2% පහත බැසි තිබේ. විදේශවල ආ යෝජනය කරනවා වෙනුවට දේශිය වෙළඳ පොලවෙත චීනය නැඹුරු වෙමින් පවති.
මේ තත්ත්වයතුළ ඉන්දියන් ආයෝජනයන් මෙහෙට පැමිණිමට වැඩි කැමැත්තක් දක්වයි. ඉන්දියානු ධනපති පංතිය බලන්නේ තමන් අවට ඇති රටවල ආයෝජනය කරන්නට ය. මෙහිදි ලංකාව හේතු කිහිපයක් නිසා ඔවුන්ට වැදගත් ය. මක් නිසාද යත් ඉන්දියානු ආණ්ඩුවට මේ සඳහා හොද දේශපාලන කාරණයක් තිබේ. විශේෂයෙන් චිනය පිටු දැකිමට මෙය හොද අවස්ථාවකි. ධනපති පංතිය ලාභය හොයාගෙන පැමිණිමට කැමති මෙන්ම ඉන්දියානු ආණ්ඩුව දේශපාලන වශයෙන් සහයෝගය ලබාදෙන්නට ද කැමති ය.
නමුත් අපිට ඒ තත්ත්වය වාසිදායක ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ගැටළුවක් තිබේ. මක් නිසාද යත් ඉන්දියාව සමග ගිවිසුම් ඇති කරගැනීමට එරෙහිවීම මෙයට ඇති ප්‍රධාන බාධකයකි. ජාතිවාදි සමාජ බලවේගයන් දක්වන මේ විරෝධයන්ට රනිල් මුහුණ දීමට උත්සහා දරන්නේ බලහත් කාරය මගිනි. මම නම් කල්පනා කරන්නේ කම්කරු පංති බලවේගයන් මේ විරෝධයන්ට එරෙහිව පෙරට ගතයුතුව ඇත. ඒ සඳහා කම්කරු පංතියට යම් ගෙවීමක් කරන්නට සිදුවනු ඇත. රනිල් එවැනි පියවරකට ගමන් කරයි ද යන්න මම නොදනිමි.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *