|

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන විශ්වාසය බිඳිලා ; තත්ත්වය භයානකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය දිගින් දිගටම පළුදු වෙමින් තිබෙන බවත් ආණ්ඩුව තවදුරටත් බොරු කරනවා වෙනුවට මේ ඇත්ත ප්‍රශ්නයට මුහුණ දියයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.”මම දැන් සති කීපයක් තිස්සෙම දිගින් දිගටම දැනුවත් කළා විශාල ආර්ථිකමය, මූල්‍යමය ගැටළුවකට ආණ්ඩුව මුහුණදෙමින් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ, සියල්ල ඉතාමත්ම ලස්සනට ඉස්සරහට යනවා කියලා. එහෙම කිව්වට යතාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්.ඔක්තෝබර් 29 වෙනිදා වෙනකොට, ලංකාව එන අවුරුද්දේ ජුනි මාසේ ගෙවන්න තියන ඩොලර් බිලියනයේ බැඳුම්කරයේ ද්විතීයික වෙළඳපොලේ මිල කොපමණ පල්ලෙහාට බැහැලා තියෙනවාද කිව්වොත් අපි කාටහරි ඕනෙ නම් ඒ ජාත්‍යන්තර බැඳුම්කරය අද මිලදී ගන්න වාර්ෂික පොලිය අපට ලැබෙනවා 46%ක්. මේක කිසි දවසක වෙච්ච නැති වැඩක්. ජනවාරි මාසෙ කල්පිරෙන ජාත්‍යන්තර බැදුම්කරය ද්විතීක වෙළඳපොලේ විකිණෙන්නෙ 44% ට. අපට මතකයි පහුගිය කාලෙ මේ වගේ විශාල පොලී ගෙවන රටක් හැටියට අපි දැක්කා ග්‍රීසිය. ඒ ග්‍රීසියෙ බැඳුම්කර වල සමහර පුද්ගලයෝ ආයෝජනය කළා. අපෙ ලංකාවත් කළා. එතකොට කිව්වෙ අපට විශාල ප්‍රතිලාභයක් මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. අවසානයේ මොකද වුණේ, ඩොලර් මිලියන සිය ගාණක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා ග්‍රීසියේ රජයට ඒවා ගෙවාගන්න බැරි වෙච්ච නිසා.

ශ්‍රී ලංකාවට තමන් ගත්ත ණය නැවත ගෙවීමට තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වෙලා. මූඩීස් ආයතනය ලංකාවෙ ශ්‍රේණිගත කිරීම් ස්ථාන දෙකකින් පල්ලෙහාට දැම්මා CAA කියන ස්ථානයට. එතනින් එහාට තියෙන්නෙ ගෙවාගන්න බෑ කියන එක. ඊට පස්සෙ මූඩීස් එකට කුඩුපට්ටම් වෙන්න මහබැංකුවයි භාණ්ඩාගාරයයි ඇමතිවරයයි ගහලා දැම්මා. ඊට පස්සෙ මෝගන් ස්ටැන්ලි ආයතනයෙන් නැවතත් ඉදිරිපත් කළා වාර්තාවක්. රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් ඔවුන් සමඟ සාකච්ඡා කළා, ඒ කියන්නෙ ජාත්‍යන්තර ආයෝජන බැංකු සමග, නමුත් ඒ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට තවදුරටත් ලංකාව කෙරෙහි විශ්වාසය බිඳවැටුණා කියලා.

මූඩීස් ආයතනය දැන් දවස් කීපයකට කලින් පිටු තිස් ගාණක දීර්ඝ පැහැදිලි කිරීමක් කළා ඔවුන් ඇයි ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් මෙච්චර පල්ලෙහාට දැම්මෙ, තව මාස හයකින් ඔවුන් දකින්නෙ මොන වගේ යතාර්ථයක්ද කියලා.

ඊට පස්සෙ 28 වෙනිදා කවුරුත් අහලා තියෙන ගෝල්ඩ්මන් සැක්ස් කියන ලෝකෙ ප්‍රධානතම ආයෝජන බැංකුව තවත් වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා ලංකාව, ඉරාකය, ඇංගෝලාව සහ ගැබෝන් කියන රට මත තියෙන ජාත්‍යන්තර විශ්වාසය සිඝ්රයෙන් කඩාගෙන වැටෙනවා, ඔවුන්ට ණය ගෙවීමේ හැකියාව ගැන දැන් විශාල ගැටළුවක් උද්ගත වෙලා තියෙනවා කියලා. මේක තමයි යතාර්ථය.

ඡන්දය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ගත්ත තීරණ නිසා ආර්ථිකයට විශාල පහරක් වැදුණා. එතකොට අපට දැන් ණය ගන්න ජාත්‍යන්තරයට යන්න විදියක් නෑ. අපට එන මාස 12ට ඩොලර් බිලියන 6 – 7ක ගෙවීම් කරන්න තියෙනවා. ඊළඟ අවුරුදු පහ ගත්තොත් අපට ඩොලර් බිලියන 25ක පමණ ණය ගෙවීම් කරන්න තියෙනවා. හැබැයි අපෙ ඩොලර් ආදායම සීඝ්‍රයෙන් කඩාගෙන වැටිලා. අපට ජාත්‍යන්තරයෙන් ණය ගන්න බැරි තත්වෙට අපිව තල්ලු වෙලා. එහෙම නම් අපි කොහොමද මේ ණය ගෙවන්නෙ කියන්නෙ ප්‍රශ්නෙට අපට මුහුණ දෙන්න වෙලා.

එතකොට මොවුන් කියන්නෙ හරි, අපට චීනය අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදෙයි කියලා. අපට මේ ණය ගෙවන්න ඉන්දියාවෙන් කෙටි කාලීනව මුදල් ලබාදෙයි කියන උපකල්පනයක තමා ඉන්නෙ. අපි කියමු එහෙම වුණා කියලා. මොකද ලංකාව ණය ගෙවන්න බැරි තැනට පත්වෙනවාට අපි කවුරුත් කැමති නෑ. මොකද දවසක් හෝ රටක් තමන් ගෙවිය යුතු ණය නොගෙවා හිටියොත් විශාල කලු පැල්ලමක් එනවා. එතකොට සාමාන්‍යයෙන් ආර්ථික විශේෂඥයො කියන විදියට අවුරුදු 10ක් යනවා එවැනි කලු පැල්ලමක් අයින් කරගන්න. එහෙම වුණොත් කවුරු ආණ්ඩු කරන්න ආවත් ඉන් පස්සෙ විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ නිසා මෙතන දේශපාලනයට එහා ගිය වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තමයි අපි රජයට අවවාද කරන්නෙ. අපි හිතමු ලබන අවුරුද්දෙ ජුනි මාසෙ ගෙවන්න තියන ණය ටික කාගෙන් හරි සල්ලි අරන් ගෙව්වා කියලා, ඊට පස්සෙ මොකද වෙන්නෙ ? රජය දේශපාලන වේදිකාවේ ජනතාව රවට්ටන්න කියන කරුණුවලට එහා ගිහිල්ලා ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් බේරාගැනීම සඳහා කළයුතු දේ කළයුතුමයි.

රජයට කොන්ද තියෙන්න ඕනෙ ඇත්ත කතා කරන්න. දැන් වෙන රටවල්වල කිව්වා. ඉන්දියාව කිව්වා 28%කින් කාර්තුවෙ ආර්ථික වර්ධනය අඩුවෙලා. ඒක තමයි ඇත්ත. ඇත්ත කිව්වාම මිනිස්සුන්ටත් තේරෙනවා මේක තමයි තත්වය, අපි තව තවත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ, අපි කොහොම හරි මේ රට බේරගන්න ඕනෙ කියලා. සිංගප්පූරුව කියනවා සෘණ වෙලා කියලා. ඉන්දුනීසියාව කියනවා සෘණ වෙලා කියලා. ඇමරිකාව කියනවා සෘණ වෙලා. අපි මොකද කියන්නෙ ? නෑ නෑ, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ, අපෙ එක ධනයි, හැබැයි අපි ඒ ගාණ කියන්න සූදානම් නෑ කියලා.

බොරු කියන එකෙත් සීමාවක් තියෙනවා. එතනින් එහාට බොරුව කාටවත් ඇත්ත කරවන්න බෑ, ඒක හෙළිවෙනවා. ඉතිං ඒ නිසා ණය ගෙවාගන්න බැරිවෙන්න කලින්, කඩාගෙන වැටෙන්න කලින් මේ ප්‍රශ්නෙ විසඳාගන්න කියලා අපි ආයාචනා කරනවා ආණ්ඩුවෙන්. අපි ඉල්ලනවා මේ දේ කරන්න එපා කියලා. මොකද මේ විදියට මුලා කරන්න ගියාට ජාත්‍යන්තර ආයෝජකයින්ව ඔවුන්ට ඇත්ත පේනවා, කොච්චර වහන්න හැදුවත් වේල් එක ඇතුළෙන් ඒ කට්ටියට පේනවා ඇත්ත. ට්‍රිලියන් ගණන් බදු වැඩිකරන්න ගියොත් මිනිස්සුන්ගෙ බෙල්ල හිරවෙනවා මේ වැඩෙන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ පෙරේදා (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *