සිරිසේන ජනාධිපතිවරයාගේ පත්වීම විප්ලවීය පරිවර්ථනයක්. – පොළොන්නරුව හිටපු මහ දිසාපති, ගන්ථ කර්තෘ අමරදාස ගුණවර්ධන

Amaradasa Gunawadane - 1ඔබ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මහ දිසාපති තනතුරේ දිගු කාලයක් සේවය කරනු ලැබූ අයෙක්. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ කාලයේ දිසාපති කාර්යාලයේ විෂය පථයට අයත්වන ග‍්‍රාම නිලධාරී තනතුරක සේවය කළ කෙනෙක්. අද ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරවැසියා බවට පත් වී තිබෙනවා ඒ පිළිබඳව ඔබට දැනෙන හැ`ගීම.

ඇත්තෙන්ම එය සතුටට කරුණක්. ඒ දිනවලත් ඔහු වෙලාවට වැඩ කරන කාර්ර්ය ශූර පුද්ගලයෙක්. අනාගත නායකත්වයක ලක්‍ෂණ ඔහුගෙන් පිළිඹිබු වුණා. ඒත් ඔහු ලංකාවේ ප‍්‍රථම පුරවැසියා තනතුරට පත්වෙයි කියල ඒ දිනවල වෙන කවුරුවත් තියා ඔහුවත් හිතන්න නැතිව ඇති.

මෙතක් කල් දේශපාලයේ ඉහළට ගියේ එකම පවුල් පැලැන්තියක, ඉහළයයි කියා ගන්නා සමාජ ස්ථරයක සිටින, කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් වලට ගිය ප‍්‍රභූ පවුල්වල දරුවන්. ඒ අනුව බලන විට වත්මන් ජනාධිපතිතුමා කර තිබෙන්නේ එක්තරා ආකාරයක විප්ලවීය පරිවර්ථනයක්. ඔහුට රටේ බහුතරයක් කැමත්ත ප‍්‍රකාශ කළ නිසයි ඔහු එම තනතුරට පත්වුනේ. ඔහු අද යහපාළනයක් වෙනුවෙන් කැපවී සිටිනවා. ඔහුගේ භූමිකාව තක්සේරු කරනු ලබන්නේ අනාගතය විසිනුයි. එය යහපත් එකක් කර ගනීවි කියා මා සිතනවා.

ඔබ පොළොන්නරු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙන ඒමට සෑහෙන මහන්සියක් ගත්තා. විශේෂයෙන්ම කන්නක් අවසානයේ අස්වනු නෙලාගත් පසුව ගොවි ජනතාව විසින් කරනු ලබන අනවශ්‍ය වියදම් අවම කිරීමට ඔබ උපදෙස් ලබා දුන්නා. එය ප‍්‍රතිඵල දායක කරුණක් වූවාද?

අද තත්ත්වය ගැන මට කියන්න බැහැ. මම හිටියේ දශක දෙකකට පමණ පෙරයි. මම දැක්කා කන්නක් අවසානයේ අස්වනු අළෙවිකර ඔවුන් ලබා ගන්නා ආදායම අනවශ්‍ය ආකාරයෙන් වියදම් කරමින් එම මුදල් නාස්ති කරනවා. ඒ නිසා මම ඔවුන්ට ‘‘අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසත්, අනාගත සුරක්‍ෂිතතාව සඳහා යම් මුදල් ප‍්‍රමාණයක් ඉතිරිකරගන්නා ලෙසත්’’ කියා දීමට උත්සාහ කළා. එකල එහි යම් සාර්ථකත්වයක් දකින්න හැකිවීම ගැන අදටත් මම සතුටු වෙනවා.

ගොවි ආර්ථිකය සදාකල් එතනමයි. ගොවියා සැමදාම ණය බරින් මිරිකී සිටිම දැකිය හැකියි. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හැමදාම එකම තත්ත්වයක තියෙන්නේ ඇයි? ගොවියා පිළිබඳ කොතරම් ආඩම්බරකාර වචන ලියැවුනත් ගොවියා සදාකල් අසරණයි.

ලංකාවේ කෘෂිකර්මය නවීකරනය වූ පසු ඔහුන්ට දරන්න වෙන පිරිවැය වැඩියි. ඊට සාපේක්‍ෂව අස්වනු වැඩිවෙන්නෙ නැහැ. ආදායම එතනමයි. අන්තිමේ ඔවුන් නවතින්නේ හිටිය තැනමයි. එදා හරකුන්ගෙන් හාලා, පොහොර භාවිතයක් නැතුව ගොවිතැන් කිරීමට හැකි වුවත්, අද ට‍්‍රැක්ටර් භාවිතය, පොහොර, කෘෂිරසායන භාවිතය අත්‍යාවශ්‍යයි. මේවාට යන පිරිවැය වැඩියි. ඔවුන් ලබන ආදායමේ වැඩිවීමක් නැහැ. ඒ නිසා ගොවියා හැමදාම එතනමයි කියන කියමනේ ඇත්තක් තියනවා.

කන්නක් අවසානයේ දකින්න ලැබෙන දෙයක් තමයි ‘‘සිය දිවි නසාගැනීම් සැලකිය යුතු ප‍්‍රමාණයක් සිදුවීම. සිය දිවි නසාගැනීම් රටේ කොහෙත් සිදුවුවත් ගොවි බිම් වල එය අසාමාන්‍ය තත්ත්වයකින් සිදුවෙනවා.

ඔව්. ගොවියා ආඩම්බරයෙන් ජීවත් වෙන ජාතියක්. ඔවුන් කන්නක් අවසානයේ මුහුණ දීමට සිදුවීමට සිදුවන ණය බර නිසා ලජ්ජාවට පත්ව දිවි නසාගන්නා තත්ත්වයක් තිබුණා. අද වෙනකොට ඒ තත්ත්වය එදා විතරම නැහැ. අද විකල්ප ආදායම් තියනවා. ප‍්‍රශ්න වලට මුහුණ දීමට උත්සාහ කරනවා. ඉඩම් බෙදාගැනීමේ ප‍්‍රශ්න නිසා පවුල්වල ඇතිවන ගැටුම් නිසාත් රන්ඩු සරුවල් මෙන්ම, දිවි නසාගැනීම් ඇතිවෙනවා. පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩි වුවත්, ඉඩම් ප‍්‍රමාණයේ වැඩිවීමක් සිදු වන්නේ නැහැ.

ඔබ පොළොන්නරුව මහ දිසාපති වශයෙන් සේවය කරන සමයේ දිස්ත‍්‍රික්කයේ කලාකරුවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කෙරුවා. 1976 දී පමණ ‘‘පොළොන්නරුව දිස්ත‍්‍රික්යේ වසරේ දක්‍ෂතම නළුවාට හිමි සම්මානය’’ දිනා ගැනීමට මටත් හැකි වුණා. ඒ ගිරිතලේ ගම මහා විද්‍යාලයේ ආචාර්ය වරයෙකුව සිටි විමලරත්න රණසිංහ මහතාගේ ‘‘වෙන්න  ඕනැත් එහෙම තමයි’’ නාට්‍යයේ ර`ගපෑම නිසා. ඒ කාලය පිළිබඳවත්, දැන් ඔබගේ කලාවට ඇති දායකත්වය ගැන සඳහනක් කරනවා නම්,

මට සතුටුයි ඔබත් මගේ කලා කටයුත්තකට දායක වී සිටි අයෙක් කියලා මතක්කරපු එක ගැන. ඒ කාලේ මම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ කලාකරුවන්ගේ හැකියාවන් දියුණු කිරීමට උත්සාහයක් ගත්තා. එයින් ප‍්‍රතිඵල ලත් අය මුණගැසෙන විට සතුටක් දැනෙනවා. ඒ කාලයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් සංස්කෘතික නිලධාරි වලිසුන්දර මහතා මේ කටයුතු පිළිබඳව කැපවීමෙන් කටයුතු කෙරුව. මම පසුගිය කාලයේ පොත් කීපයක් රචනා කෙරුවා. පොත් ලියන්න හිතේ ආසාවක් ඇතිවුවත්, කාලය ඊට හරස් වෙනවා. විවේකයක් ඇත්තෙම නැහැ.

ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද? එයින් ජනමනසට යම් රසයක් දැනුමක් ලබාදෙනවද?

ඒ දෙකම වෙන්නෙ නෑ කියල කියන්න පුළුවන්. ජනමාධ්‍ය මගින් ජනතාවගේ දැනුම කොතරම් දුරකට ගෙනියන්න පුළුවන්ද? අද කරන්නෙ තියෙන දැනුමත්, සාදාචාරයත් නැති කරන එකයි. අඩුම වශයෙන් ප‍්‍රවෘත්තිවත් හරියට විකාශය කරන්නෙ නැහැ කියල කියන්න පුළුවන්. එකම නාලිකාවේ, එකම ප‍්‍රවෘත්තිය තුන්වරකට විකාශය වෙන්නෙ තුන් ආකාරයකට. කථන භාෂාවෙන් ඉදිරිපත් කළත් එය හරියට සිදු වෙන්නෙ නැහැ. ඒත් මේ විද්‍යුත් නාලිකා වලට කළ හැකිදේවල් බෙහොමයි. අද දැනුවත් අය, උසස් රසවින්දනයක් ඇති රසිකයන් විද්‍යුත් නාලිකා නැරඹීමෙන් ඈත්වීමක් දක්නට තියෙනව.

පසුගිය නිදහස් උත්සවයේ දී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම ගැන විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කෙරුවා. පිරිසක් එය ඉතා සාධනීය කටයුත්තක් ලෙස හැඳින්වූ අතර පිරිසක් එයට අප‍්‍රසාදය පළ කෙරුවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මගේ අදහස නම්, රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයයි. එක ජාතික කොඩියයි. එය රටේ අභිමානය සුරකින උතුම් වස්තුවක්. ජාතික ගීය එක එක භාෂාවලින් ගායනා කිරීමේ දී එහි අනන්‍යතාවය, අභිමානවත් බව නැතිවී යනවා.  ඕනැ නම් කෙනෙකුට එය වෙනත් භාෂාවකට හරවා ගායනා කළ හැකියි. නමුත් එය රටේ ජාතික ගීය නොවිය යුතුයි.

ඉන්දියාවේ භාෂා හතලිස් ගණනක් කතා කරන ජනයා සිටිනවා. ඒ හැම භාෂාවෙන්ම ජාතික ගීය ගායනා කරවනද? නැහැ. එය ගයනා කරන්නේ එකම භාෂාවකින් ඒ බෙංගාලි භාෂාවෙන්. ඒ පිළබඳව ඉන්දියාවෙ කවුරුවත් ප‍්‍රශ්නයක් කරගෙන නැහැ. දැන් ජාතික කොඩියත් වෙනස් කරන්න කියා ඉල්ලීමක් කරන යන බවක් ගැන හා හූවක් තියෙනව. එහෙම වුනොත් අභිමානය හා අනන්‍යතාව විනාශ වීමක් සිදුවෙනව.

ඔබ දැන් නිරතව සිටින්න රාජකාරිය කුමක්ද?

මම වාරාය හා නාවුක අමාත්‍ය අර්ජූණ රණතුංග ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් විදිහට කටයුතු කරනව. ඔහු මගේ දීඝ_කාලීන මිතුරෙක්. ඒ වගේම පවුලේ හිතවතෙක්. ඔවුන්ගේ පවුලේ උදවියත්, අපේ පවුලේ උදවියත් හිතවතුන්. ඔහුගේ බිරිඳගේ පවුලේ අයත් අපේ හිතවතුන්. ඒ හිතවත් කමත්, අර්ජූණගේ ඉල්ලීමත් නිසා මම මේ රාජකාරියට සම්බන්ධ වුණා.
ඔබේ ගම වැනි පොළොන්නරුවට බලන්න තවමත් යනවද?

ඉඳහිට යනවා. මෑතකදි නම් ගියේ නැහැ. අපේ මිතුරු සමාජය දේශපාලනය නිසා ටිකක් දුරස්වෙලා වගේ පෙන්නෙ. එතකොට ඒ සමාගමයේ ප‍්‍රියජනක භාවය නැති වෙනවා. ඒත් සුන්දර පුලතිසුපුර මට කවදාවත් අමතක කරන්න බැහැ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *