ගම්පහ ඔසුසල්-වෙළඳසල් හෙට සිට වසාදමයි

කොරෝනා වයිරස තත්වය පාලනය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඔසුහල් ඇතුළු සියලුම වෙළඳසල් හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඉතා අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් නිවෙස්වලින් බැහැරව යාමට අවස්ථාව සලසා දී තිබීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අනවශ්‍ය ලෙස භාවිතා කරන බවක් පෙනීයාම මත මෙවන් පියවරක් ගැනීමට හේතු වී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.

ඇතැම්විට තරුණ පිරිස තම පියාගේ හෝ මවගේ රෝගයන් සදහා ඖෂධ ආදිය ගැනීම සඳහා යන බව පවසමින් වෛද්‍ය වාර්තා ආදිය රැගෙන විවිධ අවශ්‍යතාවයන් සදහා නගරවලට පැමිණෙන තත්වයක් පෙනී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කරයි.

කොරෝනා රෝග තත්වය ව්‍යාප්තවීම මැඩපවත්වා ගැනීම පිනිස ඇදිරි නීතිය පනවා ඇති බැවින් මෙය තේරුම් ගෙන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව නිවෙස්වලට වී කාලය ගත කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කරන්නවුන් වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලබන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *