බොරැල්ලේ හෝටල් දෙකකට සීල් ; තිහාරියේ කම්හලක් වසයි ; බියගම කලාපයේත් කොවිඩ්.

කොවිඩ් 19 ආශ්‍රිතයින් ඇතැයි හඳුනාගත් බොරැල්ලේ හෝටල් දෙකකට මේ වනවිට සීල් තබා ඇතැයි වාර්තා වෙයි .

තිහාරියේ පිහිටි කර්මාන්ත ශාලාවකින් ද කොවිඩ් 19 රෝගියකු හමුවීම නිසා එම කම්හල වසා දමා සේවකයන් පරීක්ෂණ සඳහා යොමුකර ඇත .

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවකින් ද කොවිඩ් 19 රෝගියකු හමු වී ඇත . ඇඟලුම් සඳහා නූල් නිපදවන මෙම කම්හලේ සේවකයන් 1000 කට ආසන්න පිරිසක් සේවය කරති. බියගම නිදහස් වෙළෙඳ කලාපයේ වෙනත් කර්මාන්ත ශාලා වල සේවය කරන දශ දහස් ගණනක් සේවකයින් ද මේ නිසා අනතුරුදායක තත්ත්වයක සිටින බව කියති.

මෙලෙස රට පුරා රෝගීන් හමුවීම නිසා කොවිඩ් 19 සමාජීය වශයෙන් ව්‍යාප්ත වන තත්ත්වයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත .

එසේ වුව ද, කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී, හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැඩි ලෙස ප්‍රකාශ කොට ඇත්තේ රටපුරා හමුවන සියලු රෝගීන් කුමන හෝ ආකාරයකින් බ්‍රන්ඩික්ස් පොකුරට සම්බන්ධ නිසා මේ සියලු දෙන එක් පොකුරක් ලෙස සැලකිය යුතු බවයි.

එබැවින් රට පුරා රෝගීන් හමුවුව ද , කොවිඩ් 19 සමාජීය වසයෙන් බෝවීමක් ඇතැයි ප්‍රකාශ නොකිරීම ඔහුගේ ස්ථාවරය වී තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රදේශ ගණනාවක් අඛණ්ඩ ඇඳිරි නීතියකට ලක් කොට ඇති අතර ගම ගණනාවක් අගුළු දමා ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක 16 කින් රෝගීන් හමු වී ඇත.

කොළඹ, පානදුර ඇතුළු රෝහල් ගණනාවක වාට්ටු, ශල්‍යාගාර හා සත්කාර ඒකක ගණනාවක් වසා දැමීමට ද, සිදු වී තිබේ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නේ තවමත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ , ඉන්දියාවේ තත්ත්වයට පත්ව නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *