නායකයෙකුට බලය අවශ්‍ය කරන්නේ මන්ද? – නිශාන්ත කමලදාස
නායකයෙකු තමන්ගේ ආයතනයේ කණ්ඩායමේ හෝ සංවිධානයේ අරමුණ කරා යන ගමන පිළිබඳ ව වැඩියෙන් ම වගකිව යුතු පුද්ගලයා ය. ඒ සෙසු අය විසින් ඔහු/ඇය ඒ සම්බන්ධයෙන් වඩාත් ම සුදුසු යැයි විශ්වාසයට ගෙන ආයතනය කණ්ඩායම හෝ සංවිධානය බාර දී ඇති නිසා ය. ඔහු අයිතිකරුවා නොවන තැනක ඔහු බාරකරුවෙකු වන්නේ ද ඒ නිසා ය.
ආයතනය සම්බන්ධ බොහෝ දේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට නායකයාට සිදු වේ. ඒ සඳහා ඔහු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් ඇතැම් තැනක විස්තීරණ ව සඳහන් කර තිබෙන්නට පුළුවන. ඇතැම් තැනක එම ක්‍රියාමාර්ගයන් දක්වා ඇත්තේ දළ වශයෙන් පමණක් විය හැකි ය. හැම සංවිධානයක් ම පාහේ තිබෙන්නේ මේ අන්ත දෙක අතර ය. ඒ නිසා ම තීරණ ගැනීමේ දී නායකයාගේ අභිමතයට ඉඩක් ඇත.
හැමට ම ගැලපෙන තීරණ ගැනීමට බැරි ය. ඒ නිසා අවසාන තීරණය රැඳෙන්නේ නායකයා වෙත ය. තීරණයට අකමැති අය විසින් පවා ගන්නා තීරණ ක්‍රියාත්මක වන බවට නායකයා වග බලා ගත යුතු ය. ඒ සඳහා ඔහුට බලය අවශ්‍ය ය.
(ව්‍යවස්ථාවක රෙගුලාසියක සඳහන් කර නැත්නම්) අරමුණ කරා යන ගමනේ එක් එක් පුද්ගලයාට කණ්ඩායමට කුමන වගකීම් පවරන්නේ ද යන්න බොහෝ විට නායකයාගේ තීරණයක් වන්නේ ය. ඒ ඒ පුද්ගලයාට කණ්ඩායමට එම වගකීම් ඉටුකිරීම සඳහා කුමන බලයක් අධිකාරියක් ලබා දෙන්නේ ද කුමන සම්පත් ලබා දෙන්නේ ද යනාදිය එවිට ඔහුගේ තීරණයක් වන්නේ ය. එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ද ඔහුට බලයක් අවශ්‍ය ය.
ඒ බලය ප්‍රශ්නය කරනු ලැබිය හැකි වුව ද ව්‍යවස්ථාවට හා රෙගුලාසි වලට අනුකූල නම් නිශේධනය කළ නොහැකි විය යුතු ය.
ගිණුමේ මුදල් තිබේ නම් කෙනෙකුට හිස් චෙක් පතක් ලියා දෙන්නට මොළේ ඇති කිසිවෙකු කටයුතු කරන්නේ නැත. එසේ දීමට සිදු වන අවස්ථාවක පවා උපරිමයකට යටත් ව නිකුත් කිරීමට අපි වග බලා ගන්නෙමු.
නායකයාට බලය දීම සම්බන්ධයෙන් ද සිදු විය යුත්තේ එය ම ය. බලය ලබා දිය යුත්තේ සංචරණ යන්ට හා තුලනයට යටත් ව ය.
ඒ බලය ලබන අය බලය කෙසේ භාවිතා කරන්නේ ද යන්න ගැන විශ්වාසයක් අපට නැති නිසා ය. ඉතිහාසය කියන්නේ බලය දූෂණයටත් වැඩි බලය වැඩි දූෂණයටත් හේතු වන බව ය.
ඒ නිසා බලය කියන්නේ දීලාත් බැරි නොදීත් බැරි එකකට ය.
හදිසි තීරණ ගත යුතු අර්බුදකාරී අවස්ථාවක වැඩි බලයක් නායකයාට ලැබිය යුතු වුව ද සාමාන්‍ය තත්වයන් යටතේ එය නියාමනය විය යුතු ය.
නායකයාගේ වැඩිමනත් දෙයක් අපේක්ෂා කරන අවස්ථාවක ඔහුට ඇයට වැඩි බලයකුත් ඔහු ඇය කෙරෙහි විශ්වාසය බිඳුනු විට පාලනය කළ හැකි බලයකුත් දිය යුත්තේ ද ඒ නිසා ය.