MRI අධ්‍යක්ෂ ඉවත් කළේ කවුදැයි ඇහුවාම අගමැති දන්නෙත් නෑ, සෞඛ්‍ය ඇමතිනිය දන්නෙත් නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

කොරෝනා වෛරස් ව්‍යාප්තියක් පවතින අවස්ථාවකදී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඒ තනතුරින් ඉවත් කළේ මන්දැයි විමසීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් යන දෙදෙනාම එම තීරණය කාගේ එකක්දැයි තමන් නොදන්නේ යැයි පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. 

“වෙනස් කරාට අපේ විරෝධයක් නෑ, වෙනස් කරන වෙලාවක් තිබුණා නම්. අර හොද්දට දාපු කරපිංචා කොළේ වගේ එතුමා හිටපු තැනින් වෙන කෙනෙකුට ඒ තනතුර දීලා එතුමාව දෙවැනි පුටුවේ ඉන්දවා ගත්තා. මේක කවදාකවත් සදාචාරාත්මක ක්‍රියාවක් නෙවෙයි. 

මං පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඇහුවා ගරු ඇමති තුමියගෙන්. එතුමිය දෙන උත්තරේ ‘හාමුදුරුවනේ මම දන්නෙ නෑ මොකක්වත්’. අගමැති තුමාත් කිව්වෙ ‘මට ආරචියක් ලැබුණා, මේක කාගෙ වැඩක්ද කියලා දන්නෙ නෑ’ කියලා. එහෙනම් බලන්න. රටේ වගකිව යුත්තෝ එහෙම කතා කරනවා නම් රටේ ජනතාව පුද්ගලයා ගැන වර්ණනා කරනවා නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගන්නම දෙයක් නෑ. 

මට නැවත වාරයක් කියන්න සිද්ධ වෙලා තියෙනවා මේක සෞඛ්‍ය නෙවෙයි, ජනාධිපති තුමනි මේක සවුත්තු දෙපාර්තමේන්තුවක් බවට පත්වෙලා තිබෙනවා. මම දන්න මට්ටමට එන්න එන්නම ගිලා බහින අමාත්‍යාංශයක් බවට පත්වෙලා තිබෙනවා. පරිපාලන කටයුතු අද හරියට එතන කෙරෙන්නෙත් නෑ. සමහර අය ඉන්නවා පුටුව රත් කරනවා විතරයි. 

අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් නෑ. ඒ තනතුරට සුදුසුම පුද්ගලයා පැත්තකට දාලා. අවම සුදුසුකම් තියෙන කෙනෙක් තමයි අද වැඩබලන්නත් දාලා තිබෙන්නෙ” යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *