මිනුවන්ගොඩ කම්හලට කොවිඩ් ගෙනා මුල් පොකුර ගැන සොයති ! තවමත් අභිරහසක් !!

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්රික්ස් කර්මාන්ත ශාලාවට කොවිඩ් 19 රෝගය ආසාදනය වූ මුල් සම්බන්ධතාවය තවමත් අභිරහසක් වී ඇති බවත් , එම මුල් කොවිඩ් පොකුර කුම්ජක්දයි හඳුනාගැනීමට සෞඛ්‍ය අංශ උත්සහ දරමින් සිටින බවත් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මෙම කම්හලට මුලින් ම රෝගය ආසාදනය වී ඇත්තේ මීට සති තුනකට පමණ පෙර කාලයක දී ය. එනම් සැප්තැම්බර් 20 දාට පෙර දී ය. එම කාලය තුළ කම්හල තුළ රෝගය පැවති බව සොයාගෙන ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.

මෙම කාලය තුළ සමාගමට විදේශිකයන් කිසිවකු පැමිණි නැති බව ද කියති.

එසේ නම් දේශීය රෝග වාහකයකුගෙන් කම්හලට රෝගය පැමිණ තිබිය යුතු ය. එවිට ප්‍රශ්නය වන්නේ එම රෝග වාහකයා කුමන පොකුරකින් පැමිණියේ ද යන්න සහ එම වාහකයාගෙන් තවත් කී දෙනකුට රෝගය පැතිරී ඇත්දැයි යන්නයි.

මිනුවන්ගොඩ කම්හලට රෝගය පැමිණියේ සැප්තැම්බර් 20 ට කලින් නම් එම රෝග ආසාදනයට හේතු වූ මුල් වහකයාගෙන් මේ වනවිට තවත් බොහෝ  පිරිසකට රෝගය පැතිරී තිබිය හැකි බව කියති.

මෙම මුල් කොවිඩ් පොකුර සොයාගැනීම මේ වනවිට විශාල අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අංශ කියති. එය වඩාත් දුෂ්කර වී ඇත්තේ රෝගය අසාදනය වූ බොහෝ දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම නිසා ය. මිනුවන්ගොඩ කම්හලේ ආසාදිතයන් බොහෝ දෙනකු ද රෝග ලක්ෂණ පෙන්නුම් කොට නැත. එම පොකුර හඳුනා ගැනීමට මෙතරම් කල් ගියේ ද එම හේතුව නිසා බව කියති.

එලෙස ම සැඟවුණු තවත් පොකුරක් නිර්මාණය වී තිබිය හැකි බව සෞඛ්‍ය අංශවල අදහස යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *