ඊයේ ආසාදිතයෝ 729යි දිනකදී හමු වූ වැඩිම රෝගීන් ගණන : මිනුවන්ගොඩ පොකුර 832ට නඟී

මෙරට ඉතිහාසයේ එක් දිනකදී වැඩිම කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව729ක් වාර්තාවීම ඊයේ (6) සිදු විය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත කොවිඩ් – 19 පොකුරෙන් මෙම සංඛ්‍යාව වාර්තා වූ අතර එම පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 832ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම පොකුර හඳුනා ගැනීම සඳහා පුද්ගලයන් 2000 කගේ පී.සී.ආර්. පරීක්ෂණ පෙරේදා (5) සිදු කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසුවේය.

මෙම පොකුරේ ප්‍රථම ආසාදිතයා ලෙස වාර්තා වූ දිවුලපිටියේ පදිංචි කාන්තාවට ප්‍රතිකාර කළ හෙද නිලධාරිනියක් යාපනයේ විනෝද චාරිකාවක් ගොස් ඇති අතර ඇය ගමන් කළ දුම්රියේ සිටි නාවික හමුදා සෙබළුන් 50 ක් නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ 1394ක් පමණ සේවයේ නියුතු වන අතර ඊට අමතරව තවත් 400ක් පමණ සනීපාරක්ෂක සේවා කටයුතුවල නිරත වන බවට තොරතුරු වාර්තා වේ. මෙම පුද්ගලයන්ගෙන් 495ක් හැර ඉතිරි සියලුදෙනා සිටිනුයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බල ප්‍රදේශවල බව ද වාර්තා වේ. නව කොරෝනා පොකුරේ ව්‍යාප්තිය අනුව පෙරේදා (05) වාර්තා වූ 101 ක් දෙනා ව්‍යාප්තව සිටිනුයේ මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව අවට 87 ක්, දිවුලපිටිය 2 ක්, මොණරාගල 1 ක්, කුරුණෑගල 2 ක්, යාපනය 1 ක්, කටාන 2 ක්, සීදූව 1 ක්, මීරිගම 3 ක්, ජාඇල 1 ක්, මහර 1 ක් ලෙස ය.

ගම්පහ, මිරිස්වත්ත, මැදවත්ත ප්‍රදේශයේ පසුගිය 27 වැනිදා පැවැති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස්දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අදාළ කර්මාන්ත ශාලාවේ ‍සේවිකාවන් හත්දෙනෙකු එම අවමංල්‍යය උත්සවයට සහභාගී ඇති බවත් ඉන් පස්දෙනෙකු ආසාදිතයින් බවත් හඳුනාගෙන තිබේ. මෙම අවමංගල්‍යය උත්සවයට සහභාගි වූ අය තම නිවෙස්වලට නිරෝධායනයට ලක් වන ලෙසත්, කිසියම් අයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

කිසියම් පුද්ගලයෙකුට රෝගය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් 1999 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි ය.

සන්ධ්‍යා කරුණාරත්න

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *