මිනුවන්ගොඩ පොකුරේ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම අධිකයි. වෛරසය වෙනස් වී ඇත්දැයි සැකයි – GMOA

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් දැනගන්නට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

“පහුගිය කාලය තුළ අපට හම්බු වුණ සියලුම රෝගීන්ට පාහේ අපට මූලාශ්‍රයක් හොයාගන්න පුළුවන් වුණා. නමුත් මේ කාන්තාවට රෝගය වැළඳුණු මූලාශ්‍රය ගැන තවමත් අපට හරි තොරතුරක් නෑ. ඒක ඉතාම භයානක තත්වයක්.

මොකද අපි මෙච්චර දවසක් කිව්වෙ සමාජය තුළ කොරෝනා වෛරසය වාර්තා වෙන්නෙ නෑ කියලා. නමුත් මේ කාන්තාවට හරියට මූලාශ්‍රයක් හොයාගන්න බැරි නම් එක්කෝ මේ ඇඟළුම් කම්හල තුළින් හෝ සමාජය තුළ වෛරසය තිබිලා තියෙනවා. ඒ අවදානම ගැන අපි පෙන්නලා දුන්නා. ඒනිසා විශේෂයෙන් මේ මොහොතෙදි හෝ ඉතාම වැදගත් වෙනවා මේ සම්පූර්ණ සිද්ධිය මොකක්ද කියන එක රටට හෙළිදරව් වීම. 

ඒ වගේම මම ඊයෙ දවස තුළ වෛද්‍ය පර්යේෂණ ආයතනයට කතා කළා. එතෙන්දි හෙළිදරව් වෙච්ච කාරණය තමයි මේ කාන්තාවගේ වගේම මේ දැන් අපි අලුතින් හොයාගන්න රෝගීන්ගෙ – දැන් අටසිය ගාණක් හොයාගෙන තියෙනවා ඒ සියලු දෙනාගෙම – වෛරල් ලෝඩ් එක, එහෙම නැත්නම් ඇඟේ තිබෙන වෛරස් සාන්ද්‍රණය ඉතාම අධික මට්ටමක තියෙනවා. ඒ නිසා අපි සැක කරනවා මෙච්චර දවසක් ලංකාවෙ තිබිච්ච මේ වෛරසයේ යම් වෙනසක් සිද්ධ වෙලාද මෙච්චර විශාල වෛරස් ප්‍රමාණයක් ඇඟ ඇතුළෙ තියෙන්න කියලා. 

එතකොට මේ හරහා එන අවදානම තමයි මේ හරහා එක් පුද්ගලයෙක්ගෙන් තව කිහිපදෙනෙක්ට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ ගොඩක් ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනවා. ඉතිං ඒක අපි හරියට කළමනාකරණය කරගන්න ඕනෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *