ඇඟළුම් කම්හලේ සේවකයින් 1800ක් ; 495ක් රට පුරා ගිහින් – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1400ක් සහ තවත් ඊට අනුයුක්ත වෙනත් සේවා සපයන සේවක සේවිකාවන් 400ක් යන පිරිස අතරින් 495ක් හැර සෙසු සියලුම දෙනා සිටින්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශ තුළ බවත් පෙරකී 495 දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ලිපින සහිත අයවලුන් වන අතර ඔවුන් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම දැනට සිදුකෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

“ලොක්ඩවුන් කියන එක ඉතාමත් පහසුයි, පහසු ක්‍රමවේදයක්. නමුත් මෙහිදී ඔබ දන්නවා අපෙ ලංකාවෙ ජනතාව විශාල ප්‍රමාණයක් මාර්තු, අප්‍රේල්, මැයි කාල පරාසය තුළ මේ ආකාරයට ලොක්ඩවුන් එකකට ගියාට පස්සෙ ජීවනෝපාය කරගෙන යන්න රටේ රැකියා අහිමි වෙච්ච කට්ටිය, ව්‍යාපාර අහිමි වෙච්ච දේවල් යනාදී වශයෙන් විශාල තත්වයන් ඇතිවුණා. ඉතිං මේක එකපාර ආපු ගමන් ලොක්ඩවුන් එකක් කිරීම නෙවෙයි ක්‍රමවේදය විය යුත්තේ, අපි මේ ආශ්‍රිතයින්, ඒවගේම මෙයට සම්බන්ධ වියහැකි අයවලුන් සියල්ලම හැකි පමණින් සොයාගෙන ඒ අනුව යම්කිසි ක්‍රමවේදයකට කටයුතු කිරීමයි. 

ඉතිං ඒ අනුව ඔබ දන්නවා ක්‍රමවේදයක් තිබුණා මේ පළවෙනි කාන්තාව වාර්තා වූ වහාම ප්‍රථමයෙන්ම අපි දිවුලපිටිය – මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශ දෙකකට ඇඳිරි නීතිය යෙදෙව්වා, ඊට පස්සෙ වේයන්ගොඩත් යොදවනු ලැබුවා. ඊට හේතුව වූයේ විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශවල සිට මෙහි සේවයට පැමිණෙන අයවලුන් වීම. නමුත් ඊට අමතරව ඊයෙ දිනයෙදි අතිගරු ජනාධිපතිතුමා මේ ගම්පහ ප්‍රදේශය ගැනත් කතා කරනු ලැබුවා. ඒත් එක්කම මේ ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් තිබෙනවා … ඒත් එක්ක ඒ හා සම්බන්ධ තීරණ ගැනීමේදී කරුණු කාරණා කිහිපයක්ම සාකච්ඡා කරලා තමයි අදවනවිට මේ තත්වය තබාගෙන ඉදිරියට යන්නේ. 

අපි මේ සම්බන්ධයෙන් විශෙෂයෙන්ම කිවයුතු කාරණය තමයි මේ ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයෙහි නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් ඒ සනීපාරක්ෂක සේවා වගේ අනුයුක්ත වෙච්ච කට්ටියත් සිටිනවා. මේ අයවලුන්ගෙන් 495ක් හැරුණුවිට අනිත් සියලු දෙනාම සිටින්නේ ඔය කියපු පොලිස් බලප්‍රදේශ තුළ. එතකොට මේ ඉතුරු 495 ලංකාවෙ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. 

එතකොට මේ තත්වයන් යටතේ ඒ කර්මාන්ත ශාලාවේ සේවය දැනට නවත්තලා තියෙන නිසා මෙම බලප්‍රදේශවලින් පිටත්ව විවිධ ප්‍රදේශවලට ගිහිලා හිටපු සියලුම අයවලුන් අපි ඊයේ දිනයේදීම හඳුනාගෙන ඊයේ රාත්‍රියේ සිට මේ වනවිටත් 125කට වැඩි සංඛ්‍යාවක් යුධ හමුදාවෙ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ඇත්තටම ඒ ආයතනය විසින් හෝටලයක්ම රැගෙන ඔවුන්ගේ ඒ සේවක සේවිකාවන් පහසු ආකාරයෙන් තියන්න කියලා නිරෝධායනයට ලබාදීලාත් තිබෙනවා. ඉතිං ඒ අනුව මේ වනවිටත් කොටසක් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගිහින් තියෙනවා. තවත් ඉතුරු කොටසත් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ඒමට කටයුතු කරනවා. බහුතරය ඉන්නෙ අර කියපු ප්‍රදේශයේ. ඒ හින්දා තමයි තවම ලොක්ඩවුන් තත්වයකට ගිහින් නැත්තේ. රට ඉදිරියට යන අතර මේකත් කොහොමහරි පාලනය කරගෙන යන ආකාරයක් තමයි මේ වනවිට අපි කතිකා කරගෙන තිබෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (06) උදෑසන දෙරණ නාලිකාවේ වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *