පළාත් සභා අනුමැතිය නැතිව 20 සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න බෑ : ප්‍රබල නීති තර්කයකින් ආණ්ඩුව කැළඹෙයි

පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීමේ බලය හිමි ජාතික මුදල් කොමිසම පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට පැවරී තිබීමත් , පළාත් සභාවලට බලපාන කරුණු සම්බන්ධයෙන් නීති පනවන විට එම නීති කෙටුම්පත් පළමුව පළාත් සභාවලින් අනුමත විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා තිබීමත් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි බවට ප්‍රබල නීති තර්කයක් මතුවීමෙන් ආණ්ඩුව තුළ 20 සංශෝධනයට පක්ෂව සිටින ගොටාභය කණ්ඩායම බලවත් කැළඹීමකට ලක්ව සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මුදල් කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 154  වගන්තිය සංශෝධනය කිරීමට 20 වැනි සංශෝධනයේ 41 කොටසින් ප්‍රතිපාදන ඉදිරිපත් කොට ඇත. පවතින මුදල් කොමිසමේ සමාජිකයින්  පස් දෙනාගෙන් දෙදෙනකු නිල බලයෙන් පත්වන අතර ඉතිරි තිදෙනා පත් කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. වාර්ෂික අයවැය මගින් පළාත් සභාවලට වෙන්කරන මුදල් ප්‍රමාණ තීරණය කිරීම මුදල් කොමිසමට පැවරී ඇති වගකීමකි. ඒ  අනුව  එයට පත්කිරීම් කරන ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම පළාත් සභාවල අනුමැතියෙන් කළ යුතුව ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිරපත් කළ ඉඩම් පනත සම්මත කළ නොහැකි වුයේ එයට පළාත් සභාවල අනුමැතිය හිමි නොවීම නිසා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියේ උප වගන්තියක් මගින් දක්වා ඇත්තේ පළාත් සභාවලට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධ  පනතක් පාරිමෙන්තුවේ සභාගත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය ලබා නොගතහොත් එය නීතියක් බවට පත් නොවන බවයි. ඒ අනුව 20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ ද එය නීතියක් වන්නේ නැත. පළාත් සභාවල අනුමැතිය නැතිව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ම වරදකි.

අනෙක් අතට මේ වනවිට පළාත් සභා ද ක්‍රියාත්මකව නැත.

ඒ අනුව ආණ්ඩුවට කළ හැකි එක ම දෙය නම් 20 ඉල්ලා අස් කරගෙන ප්‍රශ්නකාරී වගන්ති ඉවත් කොට නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යි.

මෙම තර්ක ඉදිරිපත්වීමෙන් ආණ්ඩුව තුළ කැළඹීමක් ඇතිව තිබෙන බව කියති . මෙයට ජනමත විචාරණයකට යන බව අලි සබ්රි ඇමතිවර කීමත්, උදය ගම්මන්පිල ඇමතිවරයා එයට විරෝධය පල කිරීමත් මෙම කැළඹීමේ ප්‍රතිඵල බව කියති.

කෙසේ වෙතත් , මේ සිය්ස්ල්ල අවසන් වශයෙන් තීරණය වන්නේ ශ්‍රේෂ්ටාධිකරණයේ විභාගවන පෙත්සම් විභාගයේ තීන්දුව  අනුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *