ගිවිසුම් ගත පරිදි වරාය ජැටිය , සාම්පුර් බලාගාරය ඉන්දියාවට ඉක්මනින් දෙන්න ; ඩොලර් මිලියන 1000 ණයට ඉන්දීය අගමැති මොදිගෙන් කොන්දේසි

දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සහ සාම්පුර් හි විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉක්මන් සහ ස්ථිර තීරණ ගෙන ඉන්දියාව දැනුවත් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රී ලනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. දෙදෙනා අතර අද පැවති අන්තර් ජාල සාකච්ඡාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන 1000 ක ණය මුදල සහ මෙතෙක් ගෙන ඇති ණය අයකරගැනීම අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

නායකයින් දෙදෙනා අතර සාකච්ඡා සුහද හා අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතුව සිදු වූ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කොට ඇත.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර ගිවිසුම් අත්සන් කොට ඇතත් එහි ඉදරි කටයුතු ප්‍රමාද වෙමින් පවතියි .

ත්‍රිකුණාමලේ සාම්පුර් හි ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කොට ඉදිකිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකොට තිබිය දී , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවට දැනුම් දුන්නේ ගල් අඟුරු බලාගාරය නවතා ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස යි.

ඉන්දියාව සමග එළඹ ඇති මෙම ගිවිසුම් අනුව කටයුතු කිරීම ප්‍රමාද වෙමින් පැවතීම ගැන ඉන්දීය අගමැතිවරයා සිය කනස්සල්ල ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 1000 ක් ඉල්ලා ඇත්තේ දැනට ලබා දී තිබෙන මිලියන 400 ක ආධාරයට අමතර වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *