කෝටි 5000ක් වැයකරන සමෘද්ධිය රටට බරක් නොවී ආයෝජනයක් විය යුතුයි – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (24) උපදෙස් දුන්නේය. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙන් බවත් එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ දියුණුව, ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම යන කරුණු ඊට පාදක කරගත යුතු යැයි ද සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා කීවේය.

සමෘද්ධිලාභී සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ක්ෂුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් සැලසුම් කළයුතු බව හෙතෙම අවධාරණය කළේය.

සමෘද්ධි ප්‍රතිලාභ සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50,000 ක් වන අතර එම මුදල රටට ආයෝජනයක් විය යුතු බවත් එහිදී නිසි පසුවිපරමක අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

සවිබල ගැන්වූ සමෘද්ධි ප්‍රතිලාභියා සමෘද්ධි වැඩසටහන හා තබා ගනිමින් රටට ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලින් ප්‍රතිලාභ දීමට නම් නියාමනය අනිවාර්ය වෙනවා. මූල්‍ය සාක්ෂරතාව අවබෝධකර ගැනීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල වැදගත් කාර්ය භාරයක්. සමාජ වෙනසකට ජනතාව තුළ උද්යෝගයක් ඇතිව තිබෙන පසුබිම ගෘහ ආර්ථිකය දියුණු කිරීමට පාදක කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වැනි අභියෝගකාරි තත්වයකට මුහුණදුන් ජනතාවට සිය ආර්ථිකය නංවා ගැනීම වෙනුවෙන් බැංකු විසින් සහනදායී වැඩසටහන් හදුන්වාදීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා ජනතාවට මෙන්ම රටටද යහපත් ආර්ථිකයක් උදාකර ගත හැක්කේ එවිට බව කියා සිටියේය.

“සමෘද්ධිය” සැබවින්ම හිමිවිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුවක් බවට පත්ව ඇති බවත්, ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මඟින් එය නියාමනය කළයුතු බව කියා සිටියේය.

ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය නිරවුල් කරදීම වහාම ඇරඹිය යුතුව ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පොල්, අඹ, කොස් වැනි බෝග වගාව අරඹා ගෘහ ආර්ථිකය දියුණු කිරීම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදුන් අතර වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබාදීම කඩිනමින් කළයුතු බව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීහු සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මීට එක්ව සිටියහ

නුවන් කොඩිකාර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *