කොඩියේ පුටු සටන තවත් ඇවිලෙයි – රතන හිමි පොලීසියත් මඟහරී

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා ගැනීම සඳහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අතුරලියේ රතන හිමියන් දැනුවත් කර තිබුණද රතන හිමියන් එය පැහැර හරිමින් සිටිනවා. 

ඊයේ දිනයේත් රතන හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවන වෙත ගියද උන්වහන්සේ එහි වැඩසිටියේ නැහැ. 

ඒ අනුව අද (23) උදෑසන දිනයේදී රතන හිමියන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණෙන බව දැනුම් දී තිබුණද රතන හිමි එහි නොපැමිණි හෙයින් පස්වරු 05.00ට පමණ පොලිස් නිලධාරීන් සඳහම් සෙවන පරිශ්‍රය වෙත ගොස් තිබූ අතර රතන හිමියන් අද ද එහි වැඩ සිට නැහැ. 

ඒ අනුව පොලිස් නිලධාරීන් ආපසු හැරී ගොස් තිබෙනවා. 

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණේ වේදිනිගම හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි විසිනුයි. 

පසුගිය 19 වැනිදායි එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම ආරම්භ වුවද දැන් රතන හිමියන් ඊට සහය නොදක්වන සෙයක් පෙනෙන්නට තිබෙනවා. 

මේ අතර ප්‍රශ්නගත තත්ත්වයක් මතුව තිබෙන මෙම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා නීතිපතිවරයා අතර සාකච්ජාවක්ද පවත්වා තිබෙන අතර එහිදී නීතිපතිවරයා පවසා තිබෙන්නේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් තීරණයක් ගන්න ලෙසයි. 

එමෙන්ම ශාසනයේ ඉදිරි අභිවෘද්ධිය තකා මෙම මන්ත්‍රී ධූරය අවලංගු කරන ලෙස රාමඤ්ඤ මහ නිකාය විසින්ද මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමඟ ජාතික ව්‍යාපාරය ගැන ඉතා ඉහළින් සාකච්ජාවට ලක්කරමින් සිටි අතුරලියේ රතන හිමි සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වන විට මන්ත්‍රී ධූරය වෙනුවෙන් ද්වන්ද සටනකට නියැලී සිටිනවා. 

ASK

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *