හෙට සිට විදුලිය කපන්නේ නෑ – ලංවිම සභාපති විජිත හේරත්

කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය ජනතාවට පවසයි.

පසුගිය 17 වැනි දින දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ විදුලිය බිඳ වැටීම සිදුවිය. ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත් වන තෙක් දිවා කාලයේ පැයකුත් විනාඩි 45ක කාලයක් ද රාත්‍රී කාලයේ පැයක කාලයක් ද කළ විදුලි විසන්දි කිරීම හෙට (22) දින සිට ක්‍රියාත්මක නොවේ.

හදිසි විදුලි බිදවැටීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පත් කළ කමිටුව ද ඊයේ (20) සහ පෙරේදා (19) දිනයන්හි රැස් වී තත්ත්වය පිළිබඳ විමර්ශනය කළේය. එම කමිටු වාර්තාව සතියක් තුළ නිකුත් කිරීමට නියමිත බවත් විදුලි බිඳ වැටීම් ඉදිරියේ දී සිදු නොවීමට නිර්ණායක එම කමිටුව මගින් ලබාදීමට නියමිතය.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *