ශ්‍රී ලංකාවට 2020 වසර සඳහා අයවැයක් නැහැ – තවත් අතුරු සම්මත ගිණුමක්

Sri lanka budget 2020

2020 වසර සඳහා මෙතෙක් පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ තවත් අතුරු සම්මත ගිණුමක් හරහා වසරේ ඉදිරි කාලය සඳහා වියදම් පියවා ගැනීමට නව රජය සූදානම් වෙමින් සිටී.

මේ පිළිබඳ පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල බීබීසී සිංහල සේවයට පැවසුවේ ලබන මාසයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

සම්පූර්ණ අයවැයක් සැප්තැම්බර් පළමු වන දාට පෙර ඉදිරිපත් කළ නොහැකි බැවින් තවත් අතුරු සම්මත ගිනුමක් හරහා 2020 වස්රේ ඉදිරි මාස හතරේ වියදම් පියවා ගැනීමට නව රජයට සිදුවී ඇති බව ඔහු සඳහන් කළේය.

සති අන්ත පුවත් පත් පළ කර තිබුණේ ඉදිරි මාස හතර සඳහා රුපියල් ට්‍රිලියන 1.6 ක අතුරු සම්මත ගිණුමක් නව රජය විසින් සකස් කරනු ලබමින් සිටින බවකි.

මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු බිල්පත් ගෙවීමට එමගින් හැකි වනු ඇති බවත් ඉදිකිරීම් ව්‍යාපෘති නිම කිරීම සඳහා ගෙවිය යුතු වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති ඇස්තමේන්තුගත රුපියල් බිලියන 200 ක් මෙමගින් ආවරණය කිරීමට නියමිත බවත් ඉන් කියැවිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකා රජය විසින් මෙම වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපිය බිලියන 600 කට වැඩි ප්‍රමාණයක් නැතහොත් ඩොලර් බිලියන 3.2 ක් ණය සේවාකරණය සඳහා අවශ්‍ය වේ.

එහෙත් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල බීබීසී සිංහල සේවයට පැවසුවේ අතුරු සම්මත ගිණුමේ ප්‍රමාණය තවමත් කිව නොහැකි බවය. එය මෙම සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කීය.

පසුගිය මාර්තු 02 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් තෝරා ගැණෙන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුව ජුනි 02 වෙනි දිනට ප්‍රථම රැස්වීමට නියම විණි.

ඒ වන විට පෙර පැවති රජය විසින් ගෙන එනු ලැබූ මාර්තු 31 දක්වා වූ අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක වෙමින් පැවති නමුත් රට තුළ පැතිරෙමින් තිබෙන කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ජුනි 02 වෙනි දිනට ප්‍රථම මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව අප්‍රේල් 20 වෙනි දින තීරණය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ජුනි 20 වෙනි දින පැවැත්වීමට දින නියම කළේය. එයින්ද අනතුරව මහ මැතිවරණය අගෝස්තු 05 වන දා පවත්වන ලදී.

මෙම කාලය තුළදී මුදල් පරිහරණය පිළිබඳව විවිධ මත පළ වුවද ජනාධිපතිවරයා පැවසූවේ පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) යටතේ අතුරු සම්මත ගිණුමක් මගින්, අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස තුනක කාලයක් සඳහා වියදම් දැරීමේ බලය ජනාධිපතිවරයාටපැවරී ඇති බවය. ඒ අනුව මෙම වසරේ අගෝස්තු 31 වන දින දක්වා වැයකිරීමට මුල්‍ය බලය ලැබී ඇතත් සැප්තැම්බර් 01 වනදායින් පසුව වියදම් කිරීම සඳහා රජය විසින් මුදල් අනුමත කරගනු ලැබිය යුතුව ඇත.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසූවේ 2021 සඳහා අයවැය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවය.

BBC Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *