නායකත්වයෙන් ඉවත් වන බව රනිල් කිව්වා ; පක්ෂය බාර ගන්න මම සූදානම් – වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා(07) ප්‍රකාශ කළේ යැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඊයේ(10) ප්‍රකාශ කළේය. තමන් දැන් හිටියා ඇති ඊළඟ පරම්පරාවට අවස්ථාව දිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව පැවැසු ඒ මහතා, එක්සත් ජාතික පක්ෂයට වෙන්න තිබෙන දේ දැන් වෙලා ඉවර බවත් තවත් වෙන්න දෙයක් නොමැති බවත් එහිදී පැවැසීය.

පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ද පරාජයට පත් වුවෙක් පත් නොකර රජය සහ පක්ෂය අතර සම්බන්ධීකරණයක් සිදු කළ හැකි අයෙක් පත් කළ යුතු බව ද අබේවර්ධන මහතා කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා නායක ධූරයෙන් ඉවත් වෙන්න සූදානම් බව කියා ඇති මේ මොහොතේ එය කෙසේ විය යුතුද, ඊළඟ නායකත්වය කවුද යන්න පක්ෂයේ සියලු දෙනා එක් ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව ද කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත්වන්නේ නම් ඒ අවස්ථාව බාර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යන්න තමා සුදානම් බව ද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *