මොකද වුණේ ? – නිශාන්ත කමලදාස

අලියා හොයා ගන්නටවත් නැත. ටෙලිෆෝනයෙන් නිකුත් වන්නේ හීන් කෙඳිරියක් පමණ ය. මාලිමාව තුවාල පිස දමමින් අඬන හඬ දුක හිතෙන තරම් ය. එපමණක් නම් මදෑ. ප්‍රතිඵල පොහොට්ටුව ද පුදුමයට පත් කරන්නට ඇතැයි මැතිවරණයට පෙර පොහොට්ටුවේම ප්‍රකාශ දෙස දැන් බලන විට පෙනෙන්නේ ය. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අප විග්‍රහ කරන්නේ ඒ සියල්ල පසුබිමේ තියා ගෙන ය.

පළමුවෙන් අප තේරුම් ගත යුත්තේ අපේ රට තුළ, රස්සාවල්, වැලි පර්මිට්, කොන්ත්‍රාත් වගේ ආදායම් උත්පාදන මාර්ග පමණක් නොව නීතිය, මැර බලය, නිල බලය වගේ ජීවිතයට අවශ්‍ය දේ කර ගැනීමේ හා අඩු කරදරයකින් ජීවත් වීමේ මාර්ගත් දේශපාලනය සමග ගැටගැහී ඇති බව ය.

මිනීමැරුම් වලට රිමාන්ඩ් භාරයේ ඉන්නා අය පමණක් නොව පෝරකේට නියම වෙච්ච අයට ද ඡන්ද ලක්ෂ ගණන් ලැබෙන්නෙ ඒ නිසා ය. ඔවුන් තමන් සතු බලය ද ධනයෙන් ස්වල්පයක් ද මේ ඡන්ද දායක අර්ථ සාධනය උදෙසා කැප කරන නිසා ය. කැලෑ කපන අය වුව ද මනාප පොරයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට යන්නේ ඒ නිසා ය. (රජයේ රැකියාවලට මිනිසුන් බඳවා නොගැනීමේ රනිල්ගේ ප්‍රතිපත්තිය පක්ෂය තුළ පවා නිර්දය විවේචනයන්ට ලක් වූයේ ඒ නිසා ය.)

ජීවත් වීමට අත්‍යවශ්‍ය මෙවලමක් හැටියට දේශපාලන සම්බන්ධතා ගොඩ නැගී තියෙන තාක් ඡන්ද ප්‍රතිඵල සඳහා තීරණාත්මක සාධකය හැටියට දිනන්න ඉඩ තියෙන්නේ කාට ද යන්න වැදගත් ප්‍රශ්නයක් වන්නේ ය.

“ලිබරල්” රනිල් වෙනුවට “ලිබරල්” මංගල ම වඩා “ජාතිකවාදී” සජිත් තෝරා ගන්නා විට ඔහුටත් මග හැරීමට නොහැකි වූ ප්‍රශ්නය වූයේ එය ය. ඒත් ඒ ජොකියාටත් දිනන්න බැරි බව තේරුණුු වහා ම මංගල සජිත් සමග දීගය ද අත් හරින්නේ ය. ඒක මේ සංවාදයෙ දි වැදගත් වෙන්නෙ දිනන්න ඉඩ තියෙන්නෙ කාට ද කියන කාරණය වැදගත් කරවන, ජන ජීවිතයට මග හරින්න බැරි මෙවලම වන, දේශපාලන සම්බන්ධතාවල තීරණාත්මක බව තේරුම් ගන්නට පමණ ය. ඒ නිසා මංගල නව මාවතක ගමනක් අරඹා ඇති මේ මොහොතේ ඒ දිගේ දුවන්නෙ නැතුව මාතෘකාවට එමු.

ඡන්දය පිටුපස තිබෙන ඊළග වැදගත් කාරණය වන්නේ තමන්ගේ පෞද්ගලික සිල්ලර වැඩවලට උදව් වීමට තමන් ඡන්දය දෙන කෙනා උදව් වෙනවා ද කියන කාරණය ය. මරණෙට, මඟුලට, ලෙඩ දුකට පිහිට වෙන එක විතරක් නොවෙයි ඒ සඳහා කිට්ටුව පාත ඉන්නා එක ද අදාළ වන්නේ ය. ඊනියා විද්වතුන් සමහරක් ජාතික ලයිස්තුවෙන් ඉල්ලන්න කැමති ඒ නිසා ය. ඒ අයට මේ වැඩේ බැරි ය.

එහෙම කියන කොට කොයි කාටත් මතක් වෙන්නෙ මෙතැනදි ඉහලින් ම සිටි තෙවරප්පෙරුම ය. එයාට මොක ද වුනේ? අන්න එතැන දි තමයි තීරණාත්මක තෙවැනි කාරණය එන්නෙ. මේ සියලු ප්‍රතිලාභ ලබන අතරේ රටත් ජාතියත් ආගමත් බේර ගන්නත් ඉඩ ලැබෙන්න ඔ්නෑ ය. මොනව කරන්නත් රටක් තියෙන්න එපා යැ කියන සටන් පාඨය මගින් භෞතීස්ම කරනු ලබන්නේ ඒ අදහස ය. කැලෑ කපන මිනීමරණ ස්ත්‍රී දූෂණයේ යෙදෙන මිනිසුන්ට මනාප දීම සාධාරණය කරන්නට ඉඩ ලැබෙන්නේ ද එයින් ය. පොහොට්ටුව ළගට ගොඩක් ලිබරල් නැති, ගොඩක් බටහිරට බර නැති, එජාපෙ සජිත්ගෙ බලවේගය දෙවැනි තැනටත් දේශප්‍රේමයේ සේයාව තවමත් අත් නොහැරිය ජාතික ජන බලවේගය තුන්වෙනි තැනටත් පත් වී අලියා තොලොංචි වන තව හේතුවක් ඒක ය.

එතකොට හොර මැර දූෂණ? හොරකම් කරන්නෙ තමන්ගෙ සල්ලි නොවන තාක් ඒ හොරකම් කරන අතරෙ රටටත් වැඩක් කරන තාක් ඒ ගැනත් ඇහැ කණ පියා ගෙන ඉන්න බොහෝ දෙනෙක් සූදානම් ය. ජනතාවගේ වැඩි දෙනෙක් ද මොනව හරි හොරකමක් කරන නිසා ද අඩු වශයෙන් ගෙදර ගෑණි හා ළමයි විෂයෙහි වත් මැරකමක් දෙකක් කරන නිසා ද හොරකම හා මැරකමට පුංචි සමාවක් දිය හැකි ය.

මිනිස්සු බුද්ධිමත් වන්නෙ ඔන්න ඔය අර්ථයෙන් ය.  ජාතික ජන බලවේගයට උපදෙස් දෙන අය ස්වංය විවේචනයන් කරමින් ජනතාවට අපහාස කිරීම තමන්ගේ පරාජයට හේතුව බව කියන විට හිනා යන්නේ ඒ නිසා ය. ඇත්තටම කියන්නේ නම් ජනතාව අපහාස පිළිගන්නේ සතුටෙන් ය. තමන්ට අපහාස කළ ගුරුවරුන් පුදන මිනිසුන්ට තමන්ට බණින බැණුම් ලොකු රිදීමක් ඇති කරන්නේ නැත.

මැතිවරණ ප්‍රතිඵල තේරුම් ගැනීමට ඔය ටික ප්‍රමාණවත් ය. එහෙත් මේ රටේ ඉදිරිය වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද යන්න තේරුම් ගැනීම වඩාත් වැදගත් පියවර ය. එය වෙනම කතා කළ යුතු කාරණයකි. ඒ ගැන ලියන වෙනත් ලිපියකින් නැවත හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *