රනිල් පස්සා දොරෙන් එන්න බෑ කියයි. මන්ත්‍රී ධුරය නිසා එජාපයේ යළිත් අභ්‍යන්තර ගැටුම් !

එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම පාර්ලිමේන්තු නියෝජනය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බාරගන්නා ලෙස පක්ෂ ජ්‍යේෂ්ඨයින් විසින් කළ ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. 

ඊයේ (07) පක්ෂ ජ්‍යේෂ්ඨයින් විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් වසර 43ක් ජනතා ඡන්දයෙන් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බව සිහිපත් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කිසිසේත්ම මේ ආකාරයෙන් පස්සා දොරින් පාර්ලිමේන්තු යාමේ වුවමනාවක් නොමැති බව පැවසූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

පක්ෂ නායකයා එම මන්ත්‍රී ධුරය ලබා නොගන්නේ නම් පක්ෂ මහලේකම්වරයා ලෙස තමන්ට එය අවශ්‍ය බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කිරීමත් සමඟ සෙසු පක්ෂ ජ්‍යේෂ්ඨයින් ඊට දැඩි විරෝධය පළ කර ඇති බවත් වාර්තා විය. 

ඒ ආකාරයෙන් මන්ත්‍රී ධුරය බෙදාගැනීම සඳහා පක්ෂය තුළ ගැටුම්කාරී තත්වයක් උද්ගතව පවතින අතර මේ මන්ත්‍රී ධුරය ලබන පුද්ගලයා කවුරුන් වුවත් ඔහු ඊළඟ එජාප නායකයා වීමේ වැඩි සම්භාවිතාවක් පවතින නිසා ගැටුම්කාරී තත්වය බරපතළ වී ඇති බවත් සඳහන්. 

පරම්පරා උරුමය අනුව මීළඟ එජාප නායකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින රුවන් විජේවර්ධන මහතාට මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස ද පක්ෂය තුළින් ඉල්ලීමක් පැමිණ තිබෙන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *