මේ ආණ්ඩුව බංකොලොත්. විදෙස් සංචිත ඇපේට තියන්නයි MCCත් අත්සන් කරන්නයි යන්නේ – රනිල්

ඉතිහාසයෙහි පළමු වරට වත්මන් රජය ණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඇපයට තැබීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“එම්සීසී අත්සන් කරන්නෙ නෑ කිව්ව පොහොට්ටුවට කොරෝනා හැදිලා, දැන් තියෙන්නෙ වෙන පොහොට්ටුවක්. ගිය ජනාධිපතිවරණ‍යට රට වටේ ගියේ යූඑන්පී ආණ්ඩුව වගේ සම්පත් විකුණන්නෙ නෑ, යූඑන්පී ආණ්ඩුව වාගෙ එම්සීසී අත්සන් කරලා රට බෙදන්නෙ නෑ කියලා. 

දැන් හිරවෙලා තියෙන්නෙ. දැන් මොකද්ද කරන්නෙ ? ඇමරිකන් ආණ්ඩුවෙ සුරැකුම්පත්, බැඳුම්කර තමයි ලෝකෙ වටිනාම සුරැකුම්පත්, බැඳුම්කර. අපට තියෙනවා ඒවා ඩොලර් මිලියන 4500ක්. දැන් කියනවා මේක ඇපේට තියලා අපට ඩොලර් මිලියන 1000ක් දෙන්න කියලා. අපිවත් 1000ක් ගන්න 4500ක් ඇපේට දෙන්නෙ නෑනෙ. අන්න ඒ තැනට වැටිලා තියෙන්නෙ. 

මේ ලංකා ඉතිහාසෙ මීට ඉස්සෙල්ලා මේ වැඩේ කරලා නෑ. මේ සාමාන්‍ය මහබැංකුවක් අනිත් බැංකුවකින් මුදල් ගන්නෙ කෙටිකාලීන මුදල් හිඟයක් තියෙනවා නම්. අපට තියෙන්නෙ කෙටිකාලීන මුදල් හිඟයක් නෙවෙයි. ඒ කාලසීමාව තුළදි අපට ඩොලර් මිලියන 1000 ගෙවන්න බැරිවුණොත් මොකද වෙන්නෙ ? අර රත්තරන් මාලෙ උකස් තිබ්බා වාගෙ. එතකොට අඩුගාණෙ ඩොලර් මිලියන 1000ක සුරැකුම්පත් අපෙන් අරගනී. අපට ඉතුරු වෙන්නෙ 3500යි. අපට තියෙන 6500 අඩුවෙනවා 5500ට. 

ඇත්ත වශයෙන්ම මේක පාර්ලිමේන්තුවට කියලා පාර්ලිමේන්තු අනුමැතිය ගන්න ඕනෙ. අද පාර්ලිමේන්තුවක් නෑ. ඡන්ද කාලෙ මේක කරන්න බෑ. දැන් කියනවා ඔය ඩොලර් මිලියන 1000 දෙනවා නම් අපි ලෑස්තියි එම්සීසී ගිවිසුම අත්සන් කරන්නත් කියලා. මේ රට බෙදනවා කිව්වා එම්සීසී ගිවිසුම යළිත් අත්සන් කරන්න ලෑස්ති වෙලා තියෙන්නෙ. 

ඉතින් එම්සීසී ගිවිසුම අත්සන් කිරීම ජාතිය පාවාදීමක්ද, තමන් කරපු බොරු ප්‍රචාරයක්ද ? අන්න එච්චර බංකොලොත්භාවයක් ආණ්ඩුවට තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *