කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ ආණ්ඩුව දිය කළ හැටි සී එම් ඊ වී හෙළිකරයි

කොවිඩ් 19 වසංගතය පවතිද්දී මහ මැතිවරණය පැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවල වැදගත් කොටස් ඉවත්කොට ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය ගැන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කොට ඇත.

ආණ්ඩුව සෞඛ්‍ය මාර්ගෝපදේශ දියාරු කොට නිකුත්කොට ඇති ගැසට් නිවේදනය පුස්සක් බව හෙලිකරනේම නිවේදනය සම්පුර්ණයෙන් මෙසේ ය.

කොවිඞ්-19 හා සබැඳි මැතිවරණ නියෝග පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි ස්ථාවරය
වර්ෂ 2020 ජූලි 19, කොළඹ ශ්‍රී ලංකාව,

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය, අවසන් මොහොතේ දී හෝ වර්ෂ 2020 ජූලි මස 17 වැනි දින කොවිඞ්-19 හා සබැඳි මැතිවරණ රෙගුලාසි ගැසට් කිරීම පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, (ක්‍ඵෑඪ) ස්වකීය සතුට ප්‍රකාශ කරනු ලැබේ- අදාළ අමාත්‍යාංශය, මැතිවරණ පැවැත්වීම සඳහා නිර්මිත සෞඛ්‍ය මාර්ගෝපදේශ (මුල් මාර්ගෝපදේශය) ප්‍රථම වරට නිකුත් කිරීමෙන් දින 38 කට පසුව ඉහත කී මැතිවරණ රෙගුලාසි ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇති අතර එය ද සිදු වූයේ මැතිවරණ දිනයට දින 19 ක් පමණක් ඉතිරිව තිබියදී ය. තවද, මුල් මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී පැවති පසුබිම මෙකී නව රෙගුලාසි මගින් වෙනසකට ලක් කොට ඇති අතර එහිලා සුවිශේෂී වශයෙන් පහත දක්වා ඇති කරුණු ද අතුළත්ව වෙනස්කම් ගණනාවක් අඩංගු වන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්වකීය කණස්සල්ල පළකර සිටී-
■ ප්‍රචාරක රැස්වීමක් සඳහා සහභාගි වීමේ අවසරය හිමිවන පුද්ගලයන් සංඛ්‍යාව 100 සිට 300 දක්වා ඉහළ දමා ඇති අතර යම් හෙයකින් එවන් රැස්වීමකට යම් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගි වන්නේ නම් එකී ප්‍රමාණය පුද්ගලයන් 500 දක්වා ඉහළ යනු ඇත-

■ නිවසින් නිවසට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා වන අවසරය හිමිවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව තිදෙනෙකුගේ (03) සිට පස් දෙනෙකු (05) දක්වා ඉහළ යනු ඇත-

■ මුල් මාර්ගෝපදේශයෙහි අන්තර්ගතව පැවති බොහෝ විධිවිධාන මෙකී රෙගුලාසි ගැසට් කිරීම ඔස්සේ මු`ඵමනින්ම ඉවත් කර ඇති අතරම එහිලා දිස්ත්‍රික් මට්ටමේ තේරීම්භාර නිලධාරී කාර්යාලවල ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම සහ එකතු කර මිටි වශයෙන් බැඳීම (මුල් මාර්ගෝපදේශවල 2.5 වන වගන්තිය); ඡන්ද මධ්‍යස්ථාන (2.9); නිරෝධායන මධ්‍යස්ථානවල මැතිවරණයක් පැවැත්වීම (2.10); ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි ලැබීම (2.11); ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි ආචාර විධි (2.12); ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන (2.13); කාර්ය මණ්ඩලය සහ ද්‍රව්‍ය ප්‍රවාහනය (2.14); පොලිස් නිලධාරීන් සඳහා විශේෂ උපදෙස් (3); විෂබීජහරණය (4); අපද්‍රව්‍ය බැහැර කිරීම (5); මැතිවරණයෙන් පසු (6) ආදී වශයෙන් වූ කරුණු වැදගත් වේ. මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා 7 වන වගන්තියේ දක්වා ඇති සෞඛ්‍ය පරිපාලන ව්‍යුහය ද මෙම නව රෙගුලාසි තුළ දක්නට නොමැත.

මෙරටෙහි කොවිඞ්-19 වසංගත තත්ත්වය වඩාත් අයහපත් අතට හැරෙමින් පවතින ස්වභාවයක් පවත්නා බව දිස්වෙමින් තිබීම හේතුවෙන්, නව රෙගුලාසි හා මුල් මාර්ගෝපදේශ සංග්‍රහය අතර පවත්නා පරස්පරතා පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය දැඩි අවධානයෙන් පසු වේ. භෞතිකමය ලෙස මැතිවරණ ප්‍රචාරක සීමා ලිහිල් කිරීම හරහා ප්‍රචාරක කටයුතු විශාල පරිමාණයෙන් සිදුවීම මගින් වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් කොවිඞ්-19 වසංගතයෙහි බලපෑමට නිරාවරණය වීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම පක්ෂ නායකයන්ගේ පැමිණීම මත පදනම්ව රැස්වීම්වලට සහභාගී විය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණයෙහි සීමාවන් ලිහිල් කිරීම අතාර්කික බව පෙනී යන කරුණකි.
මෙකී සෑම කරුණක්ම සැළකිල්ලට බඳුන් කරමින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, පහත සඳහන් ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
■ මුල් මාර්ගෝපදේශ සංග්‍රහයෙහි පවත්නා අනෙකුත් විධිවිධාන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම, සහ
■ පළමුව ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ මෙලෙස ලිහිල් කර ඇත්තේ ඇයිද යන්න මෙන්ම වසංගත තත්ත්වය වඩාත් අයහපත් වීමට මෙකී ලිහිල් මාර්ගෝපදේශ දායක වුවහොත් ඊට අදාළව ඔවුන් ගන්නා පියවර කවරේද යන්න පිළිබඳව ඡන්දදායකයන් හට පැහැදිලි කිරීමක් සැපයීම.
■ පවත්නා ගැටළු නිරාකරණය කිරීම සහ නියාමනය උදෙසා රෙගුලාසි ප්‍රවර්ධනය කිරීම මෙන්ම මහජනයා දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන්, විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ එක්ව කටයුතු කිරීම.
නිදහස් හා සාධාරණ මෙන්ම සුරක්ෂිත ව පැවැත්වෙන මැතිවරණයක් සඳහා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හැම විටම තම දායකත්වය සපයනු ලබන බව මෙහිලා සටහන් කරන අතරම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සැබෑ වගකීම විය යුත්තේ කෙටිකාලීනව ලද හැකි පක්ෂග්‍රාහීමය මැතිවරණ ප්‍රතිලාභ වලින් ඔබ්බට ගොස් මැතිවරණ ක්‍රියාවලිය හා එක් වන ඡන්දදායකයන් ද ඇතුළත් සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සහතික කිරීම බව ද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *