මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති.

මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය අඳුරු දශකය තුළ මහජන මුදල් කාබාසිනියා කිරීමට නායකත්වය දුන් සොරමුල බව නො දන්නේ කවුරු ද?

ඔවුන් පසුපසින් යන පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රී කැලත යනු ඔවුන්ගේ චෞර සහායකයෝ ය. නිදසුනක් ලෙස, කුමාර් වෙල්ගම පසුපසින් යන අයෙකු වන වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල යනු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අල්ලසක් ගන්නට යද්දී අතට ම හසු වූ නඩු පමා වීම නිසා ඇප පිට සිටින අයෙකි. මේ අය වනාහි ජනප්‍රිය පිරිසක් නො වේ. ඔවුන් ප්‍රසිද්ධ ය. වඩා නිවැරදිව කියනවා නම් කුප්‍රකට ය. එසේ ම සොරකම් කරන ලද මුදල් හා රාජ්‍ය බලය තුළ බලවත් ය. රාජ්‍ය බලය නැති වූ විට ඔවුන්ගේ දක්ෂකම් බලාගන්නට පුළුවන.

මේ සියල්ලන්ට ම නඩු ඇත. ඒ නඩු සාධාරණව විභාග වුවහොත් මේ සියල්ලන් ම සිටිය යුත්තේ හිරේ ය. ඒ නිසා එය වළක්වා ගැනීමට වා නා වා පෝ නා පෝ ගේමක් දෙන්නට ඔවුන් පෙරට පැමිණ තිබේ. අප එය තේරුම් ගත යුතු ය.

ඔවුන් අලුත් පක්ෂ හදන්නට යන මොහොත ද නල්ල මලේ එකකි. ඒ වනාහි ජාතික මට්ටමෙන් ලොකු බලපෑමක් කළ නො හැකි පළාත් පාලන ඡන්දය ඉදිරියේ ය. ඔවුන්ට කිව යුතුව ඇත්තේ ඔහොම යං කියා ය.

උදේනි අතුකෝරල ශ්‍රීලනිපය පැත්තෙන් ගත් කල මෙම පිරිස ඉවත් ව යාම පක්ෂයට දැවැන්ත ආශිර්වාදයක් කර ගත හැකි ය. පක්ෂය අත්පත් කරගෙන සිටින මේ බහිරවයන් පිරිස ඉවත් වී යාමත් සමග පක්ෂයට අලුත්, ප්‍රජාතන්ත්‍රවාදී, දක්ෂ හා පිරිසිදු දේශපාලන බලවේගයක් ආකර්ශනය කර ගැනීමේ අවස්ථාව විවෘත වේ.

මෙවැනි අලුත් පක්ෂ ඡන්දයකදී දෙකකදී සෙල්ලම් දමනු ඇත. ඒ සඳහා පළාත් පාලන ඡන්දයක් හොඳට ම ඇති ය. අතීතයේදී ලලිත් ඇතුලත්මුදලි – ගාමිනී දිසානායක ඩබල විසින් බිහි කරන ලද තුන්වන බලවේගය හා මෑතදී සරත් ෆොන්සේකාට වූ දෙය අත්දැකීම් ලෙස ගත හැකි ය. ජවිපෙන් ලොකු ම කෑල්ලක් කැඩී ගියත් ජවිපෙට දිගු කාලීනව අභියෝග කිරීමට පෙසපට බැරි වීම තවත් උදාහරණයකි.

මහින්දගේ පළාත් පාලන බලවේගයේසංකේතයක් – උදේනි අතුකෝරල

මෛත්‍රීපාල ළඟ නො බලා දුර බැලිය යුතු ය. මොවුන්ට කඩාගෙන යනවා ය කියා පක්ෂය බ්ලැක්මේල් කිරීමට ඉඩ නො දිය යුතු ය. ඒ වෙනුවට කඩාගෙන පලයව් යි කියන්නට ආත්ම ශක්තිය ඔහුට තිබිය යුතු ය. තාවකාලික පසුබැස්මක් ඇති විය හැකි මුත්, අලුත් පිරිසක් සමග අලුත් ජවයකින් පටන් ගන්නට එය අවස්ථාවකි.

අනෙක් පැත්තෙන්, මෙම බලවේගයේ ප්‍රචණ්ඩත්වයේ තරම වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමට ද වග බලා ගත යුතු ය.

මේ ලිපිය අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වෙබ් අඩවියේ පලවූවකි 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *