වැදගත් නිර්දේශ ඉවත් කොට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන වෑයමක් !

මහ මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කොට ඇති නිර්දේශ අතාරින්  ඉතා වැදගත් නිර්දේශ ගණනාවක් ඉවත් කොට රජය අලුතින් සැකසු මාර්ගෝපදේශ මාලාවක් ගැසට් කිරීමේ උත්සාහයක් පවතින බව තතු දත් ආරංචි මාර්ග මගින් “යුක්තිය ” ට දැන ගන්නට ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කොට ඇති ඇතැම් නිර්දේශ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව කියමින් එම නිර්දේශ ඉවත් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

මෙම නිර්දේශ මාලාව විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කොට දැනට මසකට වැඩි කලක් ගත වී ඇතත් ඒවා ගැසට් කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නැත .

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද  ප්‍රකාශ කළේ මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ දී ගැසට් කරන බව යි.

මේ අතර ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ‍, සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු බවය.

දැනට පනවා ඇති මුහුණු ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම හා නිරන්තරයෙන් අත්සේදීම වැනි කරුණු ගැන ජනතාව සැලකිලිමත් නොවන්නේ නම්, වසංගතය රට ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ කටයුතු සඳහා ද එය බලපතළ ලෙස බාධාවක් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් පත්‍රය නොමැති වීම තම කටයුතු සඳහා විශාල බාධාවක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ගැසට් පත්‍රය පළ නොකරන්නේ නම් ඡන්ද විමසීම සිදුකිරීමට අපහසු බව කොමිෂන් සභාව විසින් මේ වන විට සාකච්ඡා කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *