සමහරු ඡන්දෙ ඉල්ලන්නෙ සිරිකොත අල්ලගන්න හැබැයි අපිට ඕනෙ අරලියගහ මන්දිරේට යන්න – රනිල් වික්‍රමසිංහ

මහ මැතිවරණයක් යනු ආණ්ඩු බලය ජයග්‍රහණය කරන තරගයක් මිස විපක්ෂයේ බලය ලබා ගන්නා හෝ පක්ෂ මූලස්ථානයක් අල්ලා ගන්නා තරගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ අරලියගහ මන්දිරයේ බලය අල්ලා ගැනීමට බවත්, එසේ තිබියදී ඇතැම් පුද්ගලයන් මැතිවරණයේදී උත්සාහ කරන්නේ සිරිකොත බලය අල්ලා ගැනීමට බවත් එජාප නායකයා පවසනවා. පාර වරද්දාගත් පුද්ගලයන් අවසානයේදී යන තැනක් පිළිබඳව තමන්ට සිතා ගන්නටවත් නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කොවිඩ් වෛරසය පැතිර යද්දී ආණ්ඩුව විසින් රට වසාදමා, වෛරසය මර්දනය වෙනුවෙන් ගෙනගිය වැඩපිළිවෙල තමන් විසින් අනුමත කළ අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් තමන් ආණ්ඩුව සමග ඩීල් දමන බවට චෝදනා කළ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා පවසන්නේ ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන පක්ෂයක් විසින් රට වෙනුවෙන් ලබාදිය යුතු සහයෝගය ලබාදුන් බවයි. එසේම පරීක්ෂණ ඉහළ දමන ලෙස තමන් ඉල්ලා සිටි බවත් බොහෝ රටවල් වෛරසය පාලනය කළේ වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ සිදු කිරීමෙන් බවත් එජාප නායකයා පවසනවා.

පරීක්ෂණ වැඩි නොකිරීමේ විපාක අද විඳින්නට සිදු වී ඇති බවද වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ නිසා තවදුරටත් ආණ්ඩුවට සහයෝගය ලබාදිය නොහැකි බව ඔහු අවධාරණය කරනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *