බැඳුම්කරයෙන් පැන ගන්නේ මෙහෙමයි ; “නඩුයි-බඩුයි දෙකම හාමුදුරුවන්ට දෙන්න බැහැ”; – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා එජාපයට කියා දෙයි

 

“නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ” යන න්‍යායේ සිටිමින් සියලු ජනමාධ්‍ය සහ ආණ්ඩුවේ දේශපාලකයින් මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ උප නායක රවී කරුණානායක මහතාට එල්ල කරන චෝදනාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා හොඳ උත්තරයක් දී තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මේ උත්තරය දී තිබෙන්නේ “සිරස” TV-01 නාළිකාව ඔස්සේ 2020.07.08 වැනිදා රාත්‍රියේ විකාශය වූ “සටන” දේශපාලන වැඩ සටහනේදී “සිරස” මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහුගෙන් පෙරළා ප්‍රශ්න කරමින් උත්තරයක් ලබා දෙමිනි.

“මහා බැංකුව කියන වෙහෙර ගිල්ලට පස්සේ අග්ගලාව දිහා අපිට බලන්න වෙන්නේ හරිම සැකයෙන් නේදැයි” “සිරස” මාධ්‍යවේදියා විමසා සිටී අවස්ථාවේදී ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා එම මධ්‍යවෙදියාගෙන් ඍජුව ප්‍රශ්න කර සිටියේ, මෙම මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ හෝ රවී කරුණානායක හෝ වරදකරුවන් කරමින් අධිකරණයවත් තීන්දුවක් ලබා දී නොමැති තත්ත්වය හමුවේ සිය පෞද්ගලික හිතළු, න්‍යාය පත්‍ර සහ ආශාවන්ට අනුව පූර්ව නිගමනයකට පැමිණ එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක වරදකරුවන් කිරීමට ජනමාධ්‍ය ආයතනවලට තිබෙන අයිතිය, බලය සහ හැකියාව කුමක්ද යන්න පිළිබඳවය.

අවම මාධ්‍ය සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත්කම සේම අධිකරණ ක්‍රියාවලියකට අදාළව ප්‍රශ්නයක් විමසිය යුතු ආකාරය ගැන ද මෙහිදී පැහැදිළි කළ ප්‍රසන්න පෙරේරා මහතා මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන අධිකරණ ක්‍රියාවලියට ඉඩ දී අධිකරණය නිසි තීන්දුවක් ලබා දෙන තුරු ඉවසීමෙන් යුතුව සිටින ලෙස ද “සිරස” ඇතුළු සියලු මාධ්‍යවලින් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් “සිරස” මාධ්‍ය ආයතනය සහ එම ප්‍රශ්නය යොමු කළ මාධ්‍යවේදියා ඉතාම නිහතමානීව සිය වරද පිළි ගෙන එම වරද ඒ මොහොතේම නිවැරදි කළ අතර මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව යළි ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටින බව අදාළ මාධ්‍යවේදියා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා වෙත ඒ මොහොතේම දැනුම් දුන්නේ අදාළ වැඩසටහන සජීවී ලෙස විකාශය වෙමින් තිබියදීය.

මෙම මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයින් ද,  මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වගේ බිය නැතිව කොන්ද කෙලින් තබා ගෙන ජනමාධ්‍යයෙන් සහ ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ගෙන් මුල සිටම මෙම ප්‍රශ්න කිරීම කළා නම්, එම පක්ෂයට මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මේ තරම් හානියක් සිදු නොවීමට ඉඩ තිබුණු බව නම් කිව යුතුය.  

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *