සේවා ගිවිසුම් බැරිනම්, ගෝලිය සැපයුම් දාමයට ඇතුල්වෙන්න බෑ – මහාචාර්ය රොහාන් සමරජීව

rohan samarajivaපෙර ලිපියේ අවසානයේ දී කථාකළ ගෝලීය සැපයුම් දාමයෙන් මේ ලිපිය ආරම්භ කිරීම වඩාත් සුදුසු ය. සැපයුම්දාම ක්‍රියාවලියක් ලෙස අපි අගලුම් කර්මාන්තය ගතහොත්, සිප් එක එක් රටක හදනවිට, බොත්තම් හදන්නේ තවත් රටක ය. රෙදි නිපදවන්නේ වෙනත් රටක ය. ඒ සියල්ලම එකතුකර මේ රටේ නිපදවන ඇඳුම වෙනත් රටකට අපනයන කරති. මේ වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණය කෙරෙන්නේ වෙනත්ම රටක ය. අද සැපයුම් දාමය ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයට ය. මේ ඇගලුම් නිෂ්පාදන දාමයේ දී ලංකාව එහි එක් පුරුකක් පමණි. මෘදුකාංග අතින්ගත් කළ දැන් ලංකාවේ ඉදිරියෙන්ම සිටින වර්චූසා සමාගම ගතහොත්, ඒ අයගේ ආයතන ඇමෙරිකාවේ, ඉන්දියාවේ, හා ලංකාවේ තිබේ. ඒ අය කුමක් හෝ විශාල කොන්ත්‍රාත් එකක් ගතහොත් ඒක කරන්නට ඒ ගැන දැණුම ඇති 60-70ක සේවක පිරිසක් කිසියම් කාලයකට අවශ්‍ය වේ. ඒ අය නිෂ්පාදනයේ යොදනවිට මේ මේ හැකියාවන් තිබෙන, මේ කණ්ඩායමට දාන්නට තමන්ට වෘත්තිකයින් සිටිනවා ද යන්න ගැන බලති. ඒ අනුව මේ ආකාරයේ මෘදුකාංග ඉන්ජිනේරුවෝ, මේ ආකාරයේ ව්‍යාපෘති කළමණාකරුවෝ, මේ ආකාරයේ තාක්ෂණ ශිල්පීන්, ඒ මෘදුකාංග සම්බන්ධයෙන් මේ හැකියාවන් තිබෙන විවිධ වර්ගවල අය යොදවනු ලැබේ. එසේ කරන විට යම් කිසි ක්ෂේත්‍රයක අඩුවක් ඇතිවුවහොත් ඒ අය සිටින්නේ ඉන්දියාවේ නම් ඒ අය එහෙන් ගෙන්නා ගන්නට අවශ්‍ය වේ. සමහර විට ඔවුන්ගේ ඉන්දියාවේ ඇති සමාගමට ඒ දැනුම ඇති අය ලංකාවෙන් ගෙනියන්නට සිද්ධ විය හැක. ඒ අය නම්‍යශිලිව මේ සේවා නිෂ්පාදන කටයුතු කරගන්නට කැමති ය. ගිවිසුමක් තිබෙන්නේ නම් ඒ අයට මෙහෙ එන්නට පමණක් නොව අපේ අයටත් ඉන්දියාවට යන්නට නිදහස තිබේ.

එතකොට මෙහෙ ඉන්න අය කියන්නට පුළුවන් ඔය කියන ආකාරයට අපේ අය ඉන්දියාවට නොයන බව. නමුත් ඒක බොරුවකි. අපේ අය ඉන්දියාවට යති. මේ තිබෙන තහංචි යටතේ පවා උදාහරණයකට ගතහොත්, ලංකාවේ නයනා සැලොන් කියන සමාගමේ රූපලාවන්‍ය ආයතන චෙන්නායි නගරයේ දක්නට පුලුවන. ඒවායේ වැඩකරන්නේ ලංකාවේ සිංහළ ළමුන් ය. මම ඔය ගිවිසුම් විරෝධි අය සමග විවාද කරනවිට ඒ අය කියන්නේ මෙහාට ඉන්දියාවෙන් කරණවෑමියෝ එනබව ය. ඒ නිසා අපේ කොණ්ඩය කපන අයට රක්ෂා නැතිවන බව ය. කරණවෑමියා ගත්තාම එයා ස්වාධින වෘත්තීයවේදියෙකි. ස්වාධින වෘත්තීයවේදින්ට එහෙම වැඩකරන්නට කවුරුවත් ඉඩදෙන්නේ නැත. එසේ ඉඩ දෙන්නේ බොහොම ඉහළම මට්ටමිනි.

සිංහළ කථාකරන්නට නොහැකි කරණෑවැමියෙක් කවමදාකවත් ලංකාවේ දී මගේ කොණ්ඩය කපා නැත. ඔය ඉහලම හෝටල්වල ඇරෙන්නට එහෙම අයෙකු සොයාදෙන ලෙස මම අභියෝග කරමි. නමුත් මෙරට අය ගිහින් කොන්ඩය කපනවා පමණක් නොව ඉහළ ගුණාත්මක වටිනාකමක් ඇති, වැඩි ගාස්තු අයකරන වෘත්තීන් ඉන්දිවේ කරති. ඒ අයට වීසා ගැණීමට නයනාට ඉතා කරදර ය. මට එතුමිය මේ ගැන පවසා ඇත. එයා ඒ අවසරය ලබාගන්නට ඉන්දියන් මහකොමසාරි කාර්යාල සමග මහ සටනක් කරන්නී ය. ළමයින් එහෙට යවන්නට වගේ ම නිවාඩුවට එන්නට ද ඒ අයට අවශ්‍ය වේ. ආවාට පසු නැවත යන්නට දෙන්නේ නැත. අර නෛතික ගිවිසුම තිබෙන්නේ නම් ඒ අනම් මනම් නැත. අපේ අය කථා කරන්නේ තනි පාරක ගමනකි. ඔවුන්ට අනුව එහෙන් මෙහාට එනවා මිස මෙහෙන් එහාට යන්නේ නැත. මම ඉන්දියාවට ගොස් සේවා සපයා නැවත පැමිණ තිබේ. මා ඉන්දියන් කාරයින්ට යටවේය යන හැගීමක් මට නැත. මට ඉන්දියාවේ වැඩ කරන්නට තිබෙන එක වාසියකි. අපේ මෘදුකාංග ඉංජිනේරුවන් පවසන පරිදි අපි දක්ෂය. අපේ අය එය සුමට ආකාරයට කරති. අපි නිපදවන මෘදුකාංග ගුණාත්මක වශයෙන් හොඳ බවයි ඔවුන් කියන්නේ. එහෙනම් අපිට ඉන්දියාවට ගොස් මේක කරන එක ලාභාදායි වේ. අපි ඉන්නේ ටික දෙනෙක් බවත්, ඒ නිසා අපිට අවාසියක් වන බවයි එවිට ඔවුන් පවසන්නේ. නමුත් අපි ක්‍රිකට් ගහන්නෙ මුළු ඉන්දිය සමගම නොවෙන බව ඒ අය අමතක කරති. අපි ක්‍රිකට් ගහන්නේ ඉන්දියාවේ සිටින සියලුම ජනතාව සමග නොවේ. ඒ ආකාරයටම අපි මේ ක්ෂේත්‍රයේ තරග කරන්නනේ තමන්ගේ ක්ෂේත්‍රයේ ම පිරිසක් සමගය.

මේ නිසා ලද අවස්ථාවේ ගෝලීය සැපයුම්දාම, නැත්නම් වටිනාකම් දාමයට අපි සම්බන්ධ නොවන්නේ නම් ඒක තමයි අපේ තිබෙන අවසනාව. ඒවාට සම්බන්ධ වෙන්නට අර නම්‍යශීලි බව, හුවමාරු වියදම් අඩු, සරලව වැඩක් කරගැනීමේ හැකියාව තිබෙන්නට අවශ්‍ය ය. වියට්නාමය දෙස බලන ලෙස මම ඔවුනට ආරාධනය කරමි. ඒක සමාජවාදී, නැත්නම් කොමියුනිස්ට් පක්ෂයකින් පාලනය වන රටකි. ඒකපාක්ෂික සමාජවාදී රටකි. ඒ අය ලෝකයේ ඇති හැම වෙළඳ ගිවිසුමකටම සම්බන්ධ ය. ඇමෙරිකාවත් සමග ඉතාම සංකීර්ණ ට්‍රාන්ස් ෆිසිපික් පාර්ටනර් ෂිප් කියන ගිවිසුමට ඒ අය අත්සන්කර ඇත. ඒක ඔබාමාගේ කාලය අවසන් වෙන්නට පෙර අනුමතවීමට නියමිත ය. එම ගිවිසුම ලෝකයේ 1/4ක් පමණ ආවරණය වෙන ගිවිසුමකි. ඒකේ සුවිශේෂ බව වන්නේ ඇමෙරිකාව ඉන්න අතර චීනය නැත. දෙවැනි ගිවිසුමේ සුවිශේෂ වන්නේ චිනය සිටින අතර ඇමෙරිතකාව නැත. නමුත් ඒ ගිවිසුම් දෙකටම වියට්නාමය අත්සන්තබා ඇත. එපමණක් නොව වියට්නාමය තව ගිවිසුම් ගණනාවක ඇත. ඒ අයගේ තර්කය වන්නේ අපි වැඩිපුර වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ වැඩිපුර විදේශ ආයෝජන ගෙන්වා ගැණිමට යන්න ය. ඒ අය එසේ කරන්නේ, වැඩියෙන් රැකියා උත්පාදනය කරන්නට, වැඩිපුර අපනයනය කරන්නට මෙන්ම ගෝලී්ය සැපයුම්දාමවලට සම්බන්ධවීමට ය. අපේ රට වර්ධනය කරන්නේ ඒ ක්‍රමවේදය තුලින් යන්නයි ඔවුන්ගේ අදහස. දැන් බලන්න තේ සම්බන්ධයෙන් වියට්නාමය ක්‍රියාකරන ආකාරය, ඇගලුම් කර්මාන්තය සම්බන්ධයෙනුත් එසේම ය. මේ සියලුම ක්සේත්‍රයන් වල වියට්නාමය අපි සමග තරග කරයි. ඒ අය අපිට වඩා දුප්පත් රටකි. නමුත් සමහරක් මාපක වලින් අපිට වඩා ඉදිරියෙන් සිටී. ඒ අය ඒ ගිවිසුම් ඇතුලේ සහ අපි ගිවිසුම් වලින් පිට සිටියොත් ඒ ගිවිසුම ඇතුලේ සිටින හෙයින් ඒ අයට අඩු තීරුබදු සහ වෙනත් පහසුකම් තිබේ. ඒ නිසා වියට්නාමය ඉතා උනන්දුවෙන් ගිවිසුම්වලට ඇතුල් වේ. ඒ අනුව ඒ වරප්‍රසාද ලබාගනි. ඒ අය විදේශිකයින්ට එන්නට ඉඩ දෙති. ඒ අය වැඩියෙන් බලන්නේ ලෝක වෙළඳ පොලේ ඒ සැපයුම්දාම වලට සම්බන්ධ වන්නට ය. අපි එලියේ සිටියොත් ඉතා කෙටි කාලයක් තුළ වියට්නාමය අපිට වඩා ජාතික ආදායම වැනි දෙයින් අපිව පරයා ඉදිරියට යනු ඇත. දැනටම අයි. ටි සී ක්ෂේත්‍රයේ වියට්නාමය අපිට වඩා ඉදිරියෙන් සිටිති. අපිට සමාන තත්ත්වයේ සිටින, නැත්නම් අපිට වඩා දුප්පත් ආසියානු රටක් කරන්නේ කුමක්ද යන්න බලන්න. මට මෙන්ගොලියාවත් එක්ක මේ ගැන කථා කරන්නට පුලුවන. නමුත් මොන්ගෝලියාව අපි සමග තරග කරන්නනේ නැත. සෘජුවම තරගකරන රටක් මේ වගේ මාර්ගයක යන්නේ නැත්නම් ඉතාම කෙටිකාලයේ දි ලංකාවට මේකෙන් සෘණාත්මක ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන.

සේවා ගිවිසුම් නැතිව වෙළඳ ගිවිසුම් පමණක් අත්සන් කළ නොහැකි ද යන්න ඇතැමෙක් අසති. සේවා ගිවිසුම් නැතිව මේ කාලයේ කිසිවෙක් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්නේ නැත. ඒ ඉස්සර තමයි භාණ්ඩ පිළිබඳ ගිවිසුම් තිබුණේ. අද කවුරුත් භාණ්ඩ පිළිබඳ ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අපි භාණ්ඩ ගිවිසුම් මිස සේවා ගිවිසුම් අත්සන් නොකරන බව පැවසුවහොත් ඒ අය අපිට හිනාවෙනු නියත ය. ගිවිසුමක් අත්සන් කිරීමට අඩු ගණනේ පාර්ශව දෙකක් සිටිය යුතු ය. අපි එසේ පැවසුවහොත්, වෙනත් යමක් කරගන්නා ලෙස ඔවුන් අපිට පවසනවා ඇත. දෙවැනි කාරණය වන්නේ, සේවා ගිවිසුම් අත්සන් කරන්නේ නම් තුන්වන මාදිළියේ වෙළදාම ගැන සාකච්ඡා කළ හැක.

අපේ රටේ පෙලපාලි යන නිසා සේවාගිවිසුම අසන් කරන්නේ නැති නමුත් ආයෝජනයන් තුළ එය සගවන්නට හැකියාව ඇත. උදාහරණයක් ලෙස ඇපලෝ රෝහල මෙහෙ ආරම්භ කළායින් පසුව ඒ ආයෝජන වගන්තිය අස්සේ මේතරම් සේවකයෝ ගෙනෙන බව සඳහන්කර සේවා ගිවිසුම හංගන්නට පුලුවන. සමහර විට ඒ ආකාරයට සේවා ගිවිසුම අත්සන් කරන්නට පුළුවන. නමුත් ලංකාව කියන්නේ හැමෝගෙම ලැයිස්තුවේ ඉහළින්ම ඇති රටක් නොවේ. දකුණු අප්‍රිකාවත් සමග ගිවිසුමක් අත්සන් කරන්නට නොහැකි ද යන්න සමහරු අසති. දකුණු අප්‍රිකාව හැම අතින්ම වැදගත් රටකි. නමුත් එය වෙළද ගිවිසුම් අත්සන් කිරිමට ප්‍රමුඛතාවයක් දෙන රටක් නොවේ. ලංකාව වැඩිපුර වෙළදාම් කරන්නේ ඉන්දියාව සමගය. දෙවැනියට වෙළදාම තිබෙන්නේ චීනයත් සමග ය. ඇමෙරිකාවත් සමග ය. යුරෝපා සංගමයත් සමග. ඒවා තමයි අපි වෙළදාම් කරන රටවල්. අපි ගිවිසුම් අත්සන් කළ යුත්තේ ඒවා සමග ය. වෙළදාමක් නැති පාකිස්ථානය සමග ගිවිසුමක් අත්සන් කිරීමේ ප්‍රයෝජනයක් නැත. පසුගිය දිනවල අත්සන් කළ එම ගිවිසුම හුදෙක් දේශපාලන අවශ්‍යතාවය මත ඇති කරපු දෙයකි. ඉන්දියාව සමග කිට්ටු වුවහොත් ඒ අයටත් ඒවාගේ එකක් කරන්නට සිතිම හැමදාම සිදුවූ දෙයකි. එසේ නැත්නම් ඔවුන් සමග කරන සුළුවෙළදාමට ගිවිසුම් අවශ්‍ය නැත. ඒ තරමට එය අල්ප ය. සාමාන්‍යයෙන් මිනිසුන් ගිවිසුම් අත්සන් කරන්නේ වෙළදම් තිබෙන තැනක් සමග ය. උදාහරණයක් ලෙස සිංගපුරුව. මලයාසීයාව වැනි රටවල් වැදගත් ය. අපි එසේ බැලූ කළ ලංකාව පැත්තෙන් ඒ අයගේ ඇසෙන් අපි මොන තලයේ ද ඉන්නේ ද යන්න වැදගත් ය. නමුත් අපි ඉන්නේ පහළ ය. පහළ ඉන්නවා පමණක් නොව අපි කොන්දේසි ද ඉදිරිපත් කරති. මම චීනයේ අය සමග මැතක දී සාකච්ඡාවක් කළෙමි. ගිවිසුම් අත්සන් කිරීම ගැන ඒ අයට මෙහෙ තත්ත්වය මම පැහැදිළි කලෙමි. ඔවුන්ගේ පැත්තෙන් සේවා සියල්ලම අරින බව ඔවුහු පැවසූ හ. ඉන්දියාව සමග කුමක් හෝ දෙයක් ඇති හෙයින් කුඩාවට සේවා ගිවිසුම් තබාගැනීමට ඉන්දියාව එකගවී ඇතැයි යන අදහස ඔවුන් තුළ ඇත. චීන්නු එසේ ගිවිසුම් අත්සන් කරන්නේ නැත. කොරියාව ද එසේ මය. සේවා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය, කුමන ඒවාට ආරක්ෂණයක් දෙනවාද යන්න සළකන්නේ. වත්මන් ගිවිසුම් මාදිළිය එසේ ය. හැම දෙයක්ම වසාගෙන සෙල්ලම් කරන්නට යන එකම රට ලංකාව පමණි.

සාකච්චා සටහන

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *