සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන බොරු කියන්නෙ ඇයි ? – JICA ආයතනය ආණ්ඩුවෙන් අසයි

කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ශ්‍රී ලංකා රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍යාධාර සැපයීමට එකඟතාවය පළකර තිබුණේ ජයිකා ආයතනයයි.

අදාල ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් මුල්‍යාධාර ලබා නොගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසා තිබිණි. ජයිකා ආධාර නොමැතිව රාජ්‍ය හා පෞද්ගලික අංශවල හවුල්කාරීත්වයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි ලේකම්වරයා පවසා තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරන ජයිකා ආයතනයේ මෙරට ප්‍රධාන නියෝජිත ෆුසැටෝ තනාකා විමසා තිබෙන්නේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශය රජයේ නිළ ප්‍රකාශයද යන්නයි.

අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ තම ආයතනයේ මුල්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවට ශ්‍රී ලංකා රජය ජයිකා ආයතන වෙත හෝ ජපාන රජය වෙත ලිඛිතව මේ වනතෙක් දන්වා නොමැති බවයි. එසේ තිබියදී ලේකම්වරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කිරීම ගැටලු සහගත බව ද ජයිකා ප්‍රධානියා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව වෙත ණය ආධාර ලබාදීමෙන් ඉවත් වන බව ජයිකා ආයතනය පසුගියදා නිවේදනය කළ අතර ඒ සඳහා හේතුව ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකා රජය ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සහ සමස්තයක් ලෙස මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේද පැහැදිලි නොමැති බවයි.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *