සමගි කිවුවට අසමගි බලවේග හැදුවේ පෞද්ගලික ප්‍රශ්න උඩයි – එ ජා ප මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ මනීෂ සෙනෙවිරත්න

*මෙවර එක්සත් ජාතික පක්ෂයේ මහනුවර කණ්ඩායම ඉතා දුර්වල එකක් බවටත් එහි සිටින බොහෝ දෙනකු පක්ෂය හා ක්‍රියාකාරීව නොසිටි අය බවටත් ඔබලාගේ පක්ෂයෙන්ම කැඩී ගොස් වෙනත් පක්ෂයකින් තරඟ කරන පිරිසක් චෝදනා කරනවා.

මම එක්සත් ජාතික පක්ෂයට අහසින් කඩා වැටුණේ නැහැ. මගේ ලොකු අත්තා, ඒ රත්නායක රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළා. එතුමා 1931 සිට 1939 දක්වා සභිකයකු ලෙස හිටියා. මහමාන්‍ය ඩී. එස් සේනානයක මහතාගේ පළමු කැබිනට් මණ්ඩලයේ හිටියා. දුම්බර ආසනය නියෝජනය කළා. එතුමා තමයි සෙනට් සභාවේ අවසානම සභාපති. මගේ පියා කිත්සිරි සෙනෙවිරත්න මහතා මහනුවර නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළා. සමාජ සේවය හා දේශපාලනය අපේ පවුල හා බැදුණු දෙයක්. අද එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා සිටින බොහෝ දෙනෙකු පැරෂුට්කාරයන් බවට පක්ෂයෙන්ම ගිය කොටසක් චෝදනා කරනවා. ඒක වැරදියි. අපි පක්ෂය එක්ක හැමදාම හිටියා. අපි කවදාවත් පක්ෂය අමාරුවේ දාලා නැහැ. මෙවර එජාපය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට වෘත්තීයවේදීන් විශාල පිරිසක් තරග කරනවා. ඔවුන් ගම් මට්ටමින් ජනතාව සමඟ සිටි අයයි.

*එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවරින් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දෙනා අද තරඟ කරන්නේ සමඟි ජනබලවේගයෙන්. ඔවුන් කියන්නේ මෙතෙක් ඉතිහාසයේ එජාපය මහනුවරින් ඉදිරිපත් කළ දුර්වලම කණ්ඩායම මෙවර ඉදිරිපත් කර තිබෙන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිවකුත් අපේ කණ්ඩායමේ නොමැති බව මම පිළිගන්නවා. එසේ වූ පමණින් අප දුර්වල යැයි කීම වැරදියි. ආසන සංවිධායක ධූර දරමින් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඒ අයයි. පක්ෂය මඟින් ලබාදෙන සියලු වරප්‍රසාද ලබාගත්තේ ඔවුන්. හිටිහැටියේ පක්ෂය කඩාගෙන ගිහින් දැන් තරග කරන පිරිස දුර්වලයි කියන එක වැරදියි. පිටුපසින් සිට ඒ අයට ශක්තිය දුන්නේ අපියි.

*මැතිවරණය ජූනි 20 නොපැවැත්වීම හා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා නේද?

මේ පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැන අපට ප්‍රශ්නයක් නැහැ. පක්ෂයක් ලෙස අප මේ පෙත්සම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ වුණේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැ‍රැදි ලෙස අර්ථකථනය කරගත්තොත් පේනවා මේ වගේ අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම අවශ්‍ය නොවන බව. ජනපතිවරයා ඒ අවස්ථාවේ කටයුතු කර තිබුණේ ව්‍යවස්ථාවට අනුකූලවයි. හැබැයි මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව මඟින් මහ මැතිවරණය අගෝස්තු මාසයේ පවත්වන සූදානමක් පෙනෙන්න තිබෙනවා. ඒ කියන්නේ මාස හයක කාලයක් පාර්ලිමේන්තුවක් නොමැතිව රට දුවනවා කියන එකයි. විධායකය, ව්‍යවස්දායකය හා අධිකරණය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන බල කණු තුනෙන් එකක් අක්‍රීයයි. කොවිඩ්-19 ප්‍රශ්නයත් එක්ක රටට විශාල ලෙස ආධාර මුදල් ලැබෙමින් පවතිනවා. ඒ වගේම ජනාධිපතිතුමා අරමුදලක් ආරම්භ කළා. ඒකට රුපියල් බිලියනයක පමණ මුදලක් මේ වන විට ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තුවක් නොකැඳවා තිබියදී මේ මුදල්වලට මොකක්ද වෙන්නේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා. විනිවිදභාවයක් ඇතිව මේ මුදල් වැය කරන ස්වභාවයක් පේන්න නැහැ. මේ මුදල් ජනතාවට ගලායන ක්‍රමවේදයක් ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා අප කියන්නේ. මේ වන විට රට ක්‍රමයෙන් විවෘත වෙනවා. ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමුවීමත් එක්ක ඒ අයට එදාට වඩා ආර්ථික ප්‍රශ්න දැනෙන්න පටන් ගන්නවා. බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග අවහිර වෙලා තියෙන්නේ. ආණ්ඩුව මේවා ගැන අවධානය යොමු කරන්න ඕන.

*මැතිවරණ කොමිසම ස්වාධීන නොමැති බවට චෝදනාවක් එල්ල කරන රජයේ පාර්ශ්ව එහි සාමාජිකයකු වන හූල් මහතාගේ ක්‍රියා කලාපය හා ප්‍රකාශ දැඩි විවේචනයට ලක්කරමින් සිටිනවා.

මහචාර්ය හූල් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස 2006 දී පත් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. ත්‍රස්තවාදී බලපෑම් නිසා රටහැර යන ඒ මහතා 2010 දී නැවත ලංකාවට එනවා. එතනදී ඩග්ලස් දේවානන්ද මහතා සමඟ ඇතිකරගත් ප්‍රශ්නයක් නිසා යළිත් ඔහු විදේශගත වෙනවා. මේ කොමිෂන් සභාව යටතේ තමයි පළාත් පාලන මැතිවරණය, ජනපතිවරණය පැවැත්වුණේ. ඒවා සාර්ථකව ගැටලුවක් නොමැතිව කළා. ඒ මැතිවරණ ඉතා සාධරණව පැවැත්වුණු බව අද ආණ්ඩු කරන උදවියම එදා කිව්වා. ආණ්ඩුව උත්සාහ කළේ මොන ආකාරයෙන් හරි අප්‍රේල් 25 ඡන්දය තියන්න. ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු නොකරන නිසා දැන් කොමිසම ස්වාධීන නැහැ කියලා චෝදනා කිරීම වැ‍රැදියි.

*කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක්ව තිබෙනවා. එජාප ආණ්ඩුවක් තිබුණා නම් රටම කොරෝනාවලට ගොදුරු වෙනවා කියලා තමයි ආණ්ඩු පක්ෂය චෝදනා කරන්නේ.

පසුගිය යහ පාලන ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වනවා. ඒක තනි එජාප ආණ්ඩුවක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එජාපය එක්ව ජාතික ආණ්ඩු ස්වරූපයෙන් කළ ආණ්ඩුවක්. ජනපති හා අගමැති අතර බරපතල මත ගැටීම් තිබුණා. අගමැතිවරයා ආරක්ෂක කමිටුවට පවා නොකැඳවූ කාලයක් තිබුණා. ජනපති හා අගමැති පක්ෂ දෙකක වීම නිසා යම් යම් ගැටලු මතු වුණා. යහපාලන ආණ්ඩුව නියෝජනය කළ අය අද ආණ්ඩු පක්ෂයට ගිහින් ඒ ආණ්ඩුව විවේචනය කරනවා. මේවා හරිම විහිළු කතා. යම් වරදක් වුණා නම් ඔවුන්ටත් සාමුහික වගකීමක් එතනදී දරන්න වෙනවා. යහපාලන ආණ්ඩුව ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක සිටි බව කිව්වා. එම්.සි.සී ගිවිසුම ගැන බොරු කතා කියලා මේ අය ජනතාව නොමඟ යවන්න උත්සහ කළා.

දැන් බලන්න, ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියෙක් පී.සී.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වුණා. ඕක එජාප ආණ්ඩුවක් තියෙන කාලයක වුණා නම් මොකද වෙන්නේ? අද මොන තරම් විවේචන කරයි ද? රටෙන් කොටසක් ඇමරිකාවට දෙන්න ක්‍රියාත්මක න්‍යාය පත්‍රයට අනුව තමයි අදාළ නිලධාරියා රටට මේ විදිහට ඇතුළු වුණේ කියලා විමල්, ගම්මන්පිලලා නොකියා ඉඳියිද?

*එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මැතිවරණ ගණනාවක් පරාජය වීම නිසා නායකත්වයේ වෙනසක් ඇති විය යුතුයි කියන හඬ සමඟි ජනබලවේගය විසින් නඟනවා. ඔවුන් කරන ප්‍රකාශයේ සාධාරණ බවක් ඔබ දකින්නේ නැද්ද?

රනිල් වික්‍රමසිංහ කියන්නේ ජත්‍යන්තරය පිළිගත් නායකයෙක්. එතුමා පරිණත වගේම උපයාශීලි අයෙක්. තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීම ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනප්‍රියතම නායකයා ලෙස සිටියදී තමයි 2015 ජනපතිවරණයේදී ඔහු පරාජයට පත්වූයේ. මේ සැලසුම රනිල් වික්‍රමසිංහ මහතාගේයි. ඔහුගේ උපායශීලීත්වය නිසා තමයි අද සමඟි ජනබලවේගය කියන පක්ෂය හදාගෙන එජාප නායකත්වය විවේචනය අයට යහපාලන ආණ්ඩුවේ මැති-ඇමැතිකම් දරන්න අවස්ථාව ලැබුණේ. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක කළා. වෙනම සන්ධානයක් ගොඩනගන්න අවසර දුන්නා.

එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දුන්නා. ඊට පස්සේ ඔවුන් එජාප නායකත්වය ගන්න හැදුවා. අලියා ලකුණ ඉල්ලුවා. මෙතනදී ඇතිවුණු ප්‍රශ්න නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා යම් යම් තීන්දු ගත්තේ. සමඟි ජනබලවේගයේ අය උත්සහ කරනවා එජාපය හා සමඟි ජනබලවේගය පක්ෂ දෙකක් නොව එකක් කියලා පෙන්වන්න. පැහැදිලි ලෙසම මේ පක්ෂ දෙකක්. එක්සත් ජාතික පාක්ෂිකයන් මේක තේරුම් ගන්න ඕන.

*සමඟි ජන බලවේගයෙන් තරග කරන එජාපයේ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වරදක් ලෙස පෙන්වා දෙන අය කියන්නේ එජාපය මේවා කරන්නේ ආණ්ඩුවේ ඩීල් එකකට කියලා.

පක්ෂය කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හැදුවම ඒ අයට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීම ආණ්ඩුවත් එක්ක ඩීල් එකක කොටසක් කියලා කියන්නේ කොහොමද? පක්ෂයකට විනයක් තිබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා ලේකම්වරයා ක්‍රියාකරලා තියෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුවයි. මේ පිරිස වෙනම පක්ෂයක් ගොඩනැගුවේ ප්‍රතිපත්තිමය කාරණයක් නිසා නොවෙයි. ඒකට හේතු වුණේ පෞද්ගලික ප්‍රශ්නයක්.

*මහනුවර සමඟි ජනබලවේගය ඉදිරිපත් කළ කණ්ඩායමේ හිටපු මන්ත්‍රීවරු හය දෙනකු සිටිනවා. මෙම පසුබිම අනුව ඔබලාගේ කණ්ඩායමට අඩු තරමේ එක් මන්ත්‍රී ධූරයක් හෝ ලබා ගැනීමට නොහැකි බව ඔවුන් කියනවා.

ඒ ගැන ජනතාව නිවැරදි තීරණයක් ගනියි. දැන් සමඟි ජනබලවේගයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පරද්දන්න නොවෙයි, අපිව පරාජය කරන්නයි. ඔය සමඟි ජනබලවේගයේ ඇත්තටම සමඟියක් නැහැ. කලක් එජාපයෙන් ඈත්ව සිටි තිස්ස අත්තනායක මහතා සමඟි ජන බලවේගයෙන් මහනුවරට නායකත්වය දෙන්න මැතිවරණ ප්‍රචාරක කාර්යාල පවා විවෘත කළා. කිරිඇල්ල ඇමැතිතුමා කිව්වා තිස්ස ඉල්ලුවොත් එයා තීන්දුවක් ගන්නවා කියලා. සජිත් මහතාට සිද්ධ වුණා තිස්සව ලිස්ට් එකට දාලා කිරිඇල්ලට මහනුවර නායකත්වය දෙන්න. මේ අයට එක වේදිකාවක ඉඳලා මැතිවරණය කරන්න බැහැ. තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියෙද්දී අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද තමයි මේ අය දකින්නේ.

අසේල කුරුළුවංශ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *