සරත් වීර බණ්ඩාරට යන්නම වෙයි ;කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පත්කරයි

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර එහි වැඩ බැලීම සඳහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා පත්කර තිබේ.

ඒ අනුව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමය පරිදි අද (05) එම තනතුරෙහි වැඩ බාර ගෙන ඇත.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇති තාවකාලික අනුයුක්තය පිළි නොගෙන එම තනතුරේ රැඳී සිටින ලදී.

මේ අතර දින පහක් පුරා වෛද්‍ය සරත් වීරබණ්ඩාරට විරෝධය පළ කරමින් රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව රෝහලේ වහළ මත සිට පවත්වාගෙන ගිය විරෝධතාවයද අද දින අවසන් කර ඇත්තේ තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම හේතුවෙනි.

අද දිනයේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහලට වාර්තා කර නොසිටි අතර නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි බාරගත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා සඳහන් කර ඇත්තේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් ඔහු තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බවයි. එතෙක් මාසයක පමණ කාලයකට එම තනතුර සඳහා තමන් පත්කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා පසුගිය කාලයේ, වඳ සැත්කම් සිදුකර ඇතැයි චෝදනා එල්ලවී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව ගෙන ගිය විරොධාවයේ ප්‍රධාන කොටස් කරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *