සමාජයට විසිරෙන්නේ නැති දෙවැනි කොරෝනා රැල්ලක් දැනටත් තියෙනවා, පාලනය කළ යුතුයි – GMOA

සමාජයට විසිරෙන්නේ නොමැති දෙවැනි කොරෝනා රැල්ලක් දැනටමත් මෙරට තුළ පවතින බවත් එහෙයින් නාවික හමුදා කොරෝනා පොකුර සහ විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම ඉතාම ප්‍රවේශමින් කළමනාකරණය කරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි. 

“ජනතාවට ඇවිදින්න ඉඩක් දුන්නේ අපේ ඇක්ටිව් කේසස් අඩුවෙද්දී. හැබැයි දැන් මේ වෙලාවෙ ඇක්ටිව් කේසස් වැඩිවෙමින් තියෙනවා. අපට ඕනෙ නම් කියන්න පුළුවන් දෙවනි රැල්ලක් කියලා, එහෙම නැත්නම් අර රැල්ල හරියටම ගියෙ නෑ – ඒ රැල්ලෙම පීක් එක කියලා කියන්න පුළුවන්, ඕනෙම එකක් වෙන්න පුළුවන්. 

සමාජයට විසිරෙන්නේ නැති දෙවැනි රැල්ලක් දැනට තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ විවෘත සමාජයට මේක නොයා ඉන්නවා කියලා. එක පොකුරයි අපට තිබුණෙ. තැන් තැන්වලින් හම්බුවෙච්ච රෝගීන් ටික එක තැනකට රැගෙන ඇවිල්ලා ඇවිල්ලා නාවික හමුදා පොකුරට අපි ගොනුකරගත්තා. ඒ ගොනුකරගැනීම දවස් 14ක් – 28ක් යනකොට ඉවර වෙන්න ඕනෙ. ඉවර කරගත යුතුව තියෙනවා. 

මොකද ඒකට හේතුව තමා නිරෝධායනයට ලක්කරන පළමු දිනයේ ඉඳලා දින 14 වෙනකොට බීජෞෂණ සමයන් එකක් ඉවරයි. දෙකක් ගියත් දවස් 28යි. හැබැයි නාවික හමුදාවේ පොකුරෙන් අදටත් රෝගීන් බිහිවෙනවා. එතකොට ඒක ගැටළුවක්. ඒ ගැටළුවම තමයි අපි හඳුන්වලා දුන්නෙ දෙවනි රැල්ලක ආරම්භය වෙන්න පුළුවන්” යනුවෙනුයි ඒ මහතා ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ අදහස් දක්වා තිබුණේ. 

එසේම විදෙස්ගත ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපලේදීම ඔවුන් පරීක්ෂාවට ලක්කිරීමත් දින 7න් සහ 14න් නැවත පරීක්ෂාවට ලක්කිරීමත් ගුවන් තොටුපළ කාර්යමණ්ඩල, ත්‍රිවිධ හමුදා සහ පොලිස් කාර්ය මණ්ඩල පරීක්ෂාවට ලක්කිරීමත් අවශ්‍ය පරිදි නිරෝධායනයට ලක්කිරීමත් අත්‍යාවශ්‍ය වී ඇති බවත් ඒ මහතා ඊයේ (30) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. 

ඒ අනුව දෛනික කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව 2500ක් දක්වා ඉහළ දමන ලෙස තමන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා සඳහන් කළේය. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *