සජිත් කණ්ඩායම එජාපයෙන් නෙරපයි ; කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුකරයි

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් ලෙස  සමඟි ජන බලවේගය නමින්  මහ මැතිවරණයට නාම යෝජනා භාරදුන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අද (29) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව  තීරණය කර ඇත. ඔවුන්  පක්ෂයේ දැරූ සියලු නිලතලවලින් ද ඉවත්කොට තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය ඒකමතිකව අනුමත කර තිබේ. 

එක්සත් ජාතික පක්ෂයේ මෙම තීරණය ගැනීමට පෙර ඒ  සම්බන්ධයෙන් එම සාමාජිකයන් වෙත ලිඛිත දැනුම් දීම කර තිබූ අතර ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබුණි.

වෙනත් දේශපාලන පක්ෂය ක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කරන හෝ කිරීමට බලාපොරොත්තු වන හෝ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු පක්ෂ ව්‍යවස්ථාවේ 3.4(ඇ) වගන්තිය යටතේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගත යුතු වුවත් උක්ත කණ්ඩායම පක්ෂ ව්‍යවස්ථාවේ අදාළ වගන්තියට අනුව ක්‍රියා කර නොමැති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබා ගෙන නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.  

මෙම රැස්වීමට සජිත් පිලට සම්බන්ධ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට ද ආරාධනා කොට තිබු නමුත් ඔවුන් කිසිවකු සහභාගී වී නොසිටි බව ද වාර්තා වෙයි.

සජිත් පිලේ සමගි ජන බලවේගයේ මහා ලේකම් ලෙස කටයුතු කරන රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කොට තිබුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 69 කින් 44 කම් සහය ඇත්තේ තම කණ්ඩායමට බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *