සහල් හිගය ආණ්ඩුවේ පාලන මිල නිසායි; මාෆියාවකට බැනවදීම බොරුවක් – කුඩා වී මෝල් හිමියෝ කියති

රට පුරා සහල් හිගයක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුව නියම කර ඇති රුපියල් 90 ක සහතික මිලට සහල් ලබාදිය නොහැකි නිසා බව කුඩා මෝල් හිමියෝ කියති . මේ නිසා කුඩා මෝල් හිමියන් වන තමන්ට ව්‍යාපාරය කරගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුහු කියති.

අප වෙත කරුණු දැක වූ එක් මෝල් හිමියෙක් කීවේ ආණ්ඩුව වී මිල දී ගැනීමට රුපියල් 50 ක සහතික මිලක් නියම කොට සහල් විකිණීමට රුපියල් 90 ක සිල්ලර මිලක් නියම කිරීම මෙයට හේතුව බව යි. සහල් කිලෝවක් නිපදවීමට වී කිලෝ එකක හා ග්‍රෑම් 600ක් ( කිලෝ 1.6 ක් ) අවශ්‍ය බව කී එම මෝල් හිමියා ඒ අනුව වී සඳහා යන වියදම පමණක් සහල් කිලෝවකට රුපියල් 80 ක් ඉක්මවන  බව කීය. කුඩා මෝල් හිමියන් වන තමන්ට වී මිල දී ගැනීමට සිදුව ඇත්තේ කිලෝව රුපියල් 54 හෝ 55 ක් වැනි මිලකට බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එම මිලට වී මිල දී ගෙන සහල් කිලෝවක් සඳහා වී වලට රුපියල් 85 කට වඩා වියදම් කොට ,ප්‍රවාහන, විදුලි ගාස්තු , නඩත්තු හා සේවක වැටුප් ගෙවා සහල් කිලෝව රුපියල් 90 ට දිය නොහැකි නිසා තමන්ට ව්‍යාපාරය කරගෙන යා නොහැකි වීම සහල් හිගයට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

තවත් මෝල් හිමියකු කීවේ වෙළෙඳපොළට වැඩිම සහල් ප්‍රමාණයක් මෙතෙක් නිකුත් කළේ කුඩා පරිමාන මෝල් හිමියන් විසින් බව යි. දිනක පරිභෝජනයට අවශ්‍ය මෙට්‍රික් ටොන් 45,000කින් 35,000ක් ම සපයන්නේ කුඩා මෝල් හිමියන් බවත් ලොකු මෝල් හිමියන් සපයන්නේ ටොන් 10,000ක් තරම් ප්‍රමාණයක් බවත් කී ඔහු ආණඩුව සහල් හිගයට විසඳුම් නොදී සහල් මාෆියාවකට බැන වැදීම බොරු වැඩක් බව ද කී ය.

ආණ්ඩුව සහල් කිලෝවක් සඳහා රුපියල් 90 ක සහතික මිලක් ගැන කීව ද පාරිභෝගිකයාට සහල් මිල දී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 125 කට වැනි මිලකට බවට විපක්ෂය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *