පාර්ලිමේන්තුව කැඳවන්නැයි එජාප මහ ලේකම් අකිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අලුත් පෙත්සමක්

08 වැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක්  නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි  ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
 
ජනාධිපති වරයා  වෙනුවෙන්  නීතිපතිවරයා සහ නීතිපති වරයා මෙහි වගඋත්තර කරුවන්  ලෙස නම් කරනු ලැබ සිටිති.
 
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 08වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බවය .
 
එම මැතිවරණ  දිනය  පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර  මැතිවරණ කොමිසමේ එම  තීරණය නීතිවිරෝධී බව  පෙත්සම්කරු  කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු ව  විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තු ව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි  පාර්ලිමේන්තු ව  හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම් කරු කියයි .
 
පවතින  තත්ත්වය  තුළ  08 වන පාර්ලිමේන්තුව  කැඳවීමට කටයුතු කළ යුතු  බවද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සමින් පෙන්වා දේ. 

එබැවින්  මෙම  ක්‍රියාවලිය තුලින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම  08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක්  කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *