ශ්‍රී ලංකාව සාමාජිකත්වයෙන් ඉවත් වන ජාත්‍යන්තර සංවිධාන මොනවා ද..? – වජිර අබේවර්ධන ජනපතිගෙන් අසයි

 

ඇතැම් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සූදානම් යැයි 11 වන රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතා ජන මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රජයෙන් ප්‍රශ්න කර සිටියි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජගත් මානව හිමිකම් සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරන අතර ජනාධිපතිවරයා කියන ආකාරයට සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ මේ අතරින් කිනම්  සංවිධානයකින් දැයි වහා රටට කිව යුතු බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය සමඟ තිබෙන සබදතාවලින් ඉවත් වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් එම රටවලට අලෙවි කිරීමට කිසිඳු ඉඩක් නොලැබෙන අතර මත්ස්‍ය අපනයනයද මුළුමනින්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.
 
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම හැර මානව හිමිකම් කඩවීම පිළිබඳව අනෙක් නඩු සියල්ලක්ම ජාත්‍යන්තරයේ සහ මෙරට අධිකරණවල පවරා ඇත්තේ එවකට විපක්ෂයේ සිටි සහ දැනට ආණ්ඩු බලයේ සිටින කණ්ඩායම විසින් බවද වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *