ගෙවතු වගා රැල්ල – 2 ; දේශීය නිෂ්පාදකයා රැකගන්නේ කෙසේද ? (Video) – නිශාන්ත කමලදාස
අපි පහුගිය කොටසින් කතා කළා ගෙවතු වගාව කියන යෝජනාව මිත්‍යාවක්, ඒක මයාවක්, ඒක සුන්දර සිහිනයක් විතරයි කියන එක. මේක එන්‍නෙ කොහොමද? මේකට තල්ලුව ලැබෙන්‍නෙ කොහෙන් ද කියලා දැන් අපි බලමු.
අපි දැන් හුදකලා වෙලා ඉන්‍නෙ. ගෙවල් වලට කොටුවෙලා ඉන්‍නෙ. රටක් හැටියටත් අපි හුදකලා වෙලා ඉන්‍නෙ. අපි බෝඩර්ස් වහලා ඉන්‍නෙ. පිටරටින් ගේන බඩු එක්තරා ප්‍රමාණයකට සීමා වෙලා තියෙන්‍නෙ. එක්තරා ප්‍රමාණයකට විදේශ විනිමය ගැටළු නිසා. මේ තත්ත්වය යටතෙ අපිට හිතෙනවා අපි යැපෙන්නන් හැටියට ඉන්‍නෙ නැතුව තනියම හිටගත්ත නම් මොකද කියල. ගෙදර දි ම අපිට එළවළු ටික හදාගන්න පුලුවන් නම්, අපේ බඩු ටික රට ඇතුළෙ දි ම හදාගන්න පුලුවන් නම්, හොඳයි කියන කාරනයට එන්න මේ හුදකලා වීම බලපාලා තියෙනව කියල. ඒ නිසා මේක එන්‍නෙ සාධරණ හේතුවක් උඩ. සාධාරණ තල්ලුවක් උඩ.
ස්‍පෙෂලැයිෂේසන් කියන කාරණය තමයි මම දැක්‍කෙ ලෝකෙ ඉස්සරහට ගිය කාරණය හැටියට. හැබැයි, ඒක ක්‍රියාත්මක වෙන්න නම් වෙළෙඳ පොළක් ක්‍රියාත්මක වෙන්න ඕනැ. හුවමාරුව තියෙන්න ඔනැ. කොරෝනා වසංගතයක් එක්ක අපිට අහිමි වෙලා තියෙන්‍නෙ ඒක. එතකොට තමයි අපිට මේ දේවල් හිතෙන්‍නෙ. අපිට තනියම නැගිටින්න ඕනෙ කියලා හිතෙන තැනට එන්‍නෙ මේ හුදකලා වීමත් එක්ක.
හැබැයි අපි තේරුම් ගන්න ඕන එක තමයි, මේ හුදකලා වීම තාවකාලිකයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක තාවකාලික වුණාට මේ වගේ වසංගත අනාගතයේදිත් ඇතිවෙන්න පුලුවන්. එතකොට අපි ඒකට මුහුණ දෙන්‍නෙ කොහොමද? අපි ඒ සඳහාවත් සූදානම් වෙන්න ඕන වෙන්‍නෙ නැද්ද? ඉතින් ඒ සඳහා මේ ගෙවතු වගාව කියන එක විතරක් නෙමෙයි, මේඩින් ශ්‍රී ලංකා කියන එකත් අද රැල්ලක් විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙනව. ෆේස් බුක් ගෲප් එකක් වෙන ම තියෙනව. ඒක ප්‍රවර්ධනය කරන්න ඕන කියන හැඟීම තියෙනව. මේ ඔක්‍කොමත් ඉස්සරහට ඇවිල්ලා තියෙනව – මේ කාරණාත් එක්ක.
ඉතින් මේකට අනුබලයක් හැටියට හෙමිහිට නැගගෙන එන තව කාරණයක් තියෙනව, අපි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනැ කියල. ඒ කියන්නෙ අපිට තනියම නැගිටින්න නම්, අපේ නිෂ්පාදන වලට ඉඩ දෙන්න නම්, පිටරටින් එන නිෂ්පාදන එන එක නවත්වන්න ඕන. තහංචි දාන්න ඕන. මේ කියන්‍නෙ, අපි 1970 – 1977 කාලය තුළ ගත කරපු ජීවිතයට අපි ආපහු යන්න ඕනැයි කියන එක ගැනයි. ඇත්තට ම සමහරු ඒ කාලය ගැන ටිකක් ආදරයෙන් සතුටින් ආශ්වාදයෙන් කතා කරනව. ඒක දිගට යන්න තිබුණා නම්, අපේ රට දියුණු වෙන්න තිබුණා කියන කාරණයකුත් කියනව. ඉතින් ඒ නිසා මේ තත්ත්වය යටතෙ අපි බලමු මොකක්ද අපිට කරන්න පුලුවන්, මේ කතාව තුළ තියෙන ඇත්ත මොකක්ද කියලා.
ඇත්තටම අපිට හදාගන්න පුලුවන් නම් දේවල්, අපිට හැම එකක් ම නැති වුණත් අපිට වඩා හොඳින් කරන්න පුලුවන් දේවල්, අපේ රටේ එක හොඳ එකක්. හැබැයි දැන් අපේ රටේ, දැන් මේ කියන කතාවෙ තියෙන්‍නෙ එහෙම එකක් නෙමේ. සියල්ල ම හදාගන්න ඕනෙ. පරිප්පුත් හදන්න ඕනෙ. සිනිත් හදන්න ඕනෙ. මේ ඔක්‍කොම රට ඇතුළෙ හදන්න ඕනැයි කියන කතාව තමයි මේ චින්තනයත් එක්ක එන කතාව. දැන් අපි බැලුවොත් 70 – 77 යුගය සමහර අය ඔය ආශ්වාදයෙන් කතා කරන යුගය දිහා බැලුවොත් සමහර අය. මොකක්ද අපිට ඒ යුගයෙ තියෙන ලක්ෂණ හැටියට අපිට පේන්‍නෙ.
ඇත්තට ම මේ වරණයත් එක්ක, පිටරටින් එන බඩු නතර කිරීමත් එක්ක භාණ්ඩ වල විශාල හිගයක් එනව. හිගයත් එක්ක මේ භාණ්ඩවල මිල ඉහළ යනව. ඒ වගේ ම ඒවා සීමිත නිසා ඒවා සලාක ක්‍රමයකට බෙදන්න සිද්ධ වෙනව. ඒ නිසා සමුපකාරය වගේ ආයතන වලට විශාල බලතල ලැබෙනව. නිලධාරින්ට විශාල බලතල ලැබෙනව. මොකද ඔවුන් තමයි පාලනය කරන එක කරන්‍නෙ. ඒවා ලිහිල් කරන්‍නෙ. ඒවට බලපත්‍ර දෙන්‍නෙ. ඒ ඔක්‍කොම කරන්‍නෙ නිලධාරින්. නිලාධාරි පැලැන්තියක් වෙන ම ඇති වෙනව. සලාක ක්‍රමයට දෙන නිසා පෝලින් ඇති වෙනව. එතකොට මේ පොලිම් වල රස්තියාදු වෙන්න සිද්ධ වෙනව. මේවා තමයි අපි දැකපු දේවල්.
මගේ ජීවිතය ගත්තොත් මම ඉස්කොලෙ යන ඒ කාලේ පොලිමේ පැය හතර පහ ඉඳලා තියෙනව පාන් ගන්න. සමහර විට ගෙදර එක්‍කෙනෙක් ඇවිල්ලා අපිව නිදහස් කරනව. ගෙදර නිදහසේ එක්‍කෙනෙක් හිටියොත්. මොකද එක දිගට පැය පහක් ඉන්න එක අමාරු වැඩක්. මොකද පාන් ගෙඩිය ගන්න අපි සාලක හාල් පොත අරන්න යන්න ඔනැ අපි කීදෙනෙක් ඉන්නව ද කියලා පෙන්නන්න. මේ වගේ කාරණා එක්ක තමයි අපි ජීවත් වුණේ.
ලැබෙන පාන්වල කොලිටි එක. ඒවායෙ ගුල්‍ලො හිටියා. පිටිත් එහෙමයි පාන් විතරක් නෙමෙයි. මේ වගේ ගුණාත්මක බවෙන් පහළයි. නමුත් මේවා දරාගෙන ඉන්න වුණා. මොකද තරඟයක් නෑ. පාලනය කරලා ගේන එකක් බාරගන්න වෙනව. ඒ වගේ රටේ නිපදවෙන දෙයක් බාරගන්න වෙනව. අපි දැක්‍කෙ මොනවද, සමහර චීත්ත රෙදි තිබුණා භූමිතෙල් ගඳයි අඳින්න අමාරුයි. ටෙරලින් කියලා කමිස ජාතියක් තිබුණා කොයිවෙලේ ගිනිගන්නවද දන්‍නෑ ඉතාම අවදානම් සහිතයි. මේ වගේ බඩු තමයි ආවේ. මෙකෙ ඇතුළෙ වුණ දේ තමයි, පිටරටින් එන බඩුවලට නොසෑහෙන කොලිටි එකෙන් නිෂ්පාදනය කරලා ඒවා වෙළෙඳ පොලේ විකුණගන්න මිනිස්සුන්ට පුලුවන් වුණා. කිසිම තරඟයක් නැති නිසා ඒවා වැඩි දියුණු කරගන්න තියෙන වූවමනාවත් නැති වුණා. ඒක තමයි තිබුණ බරපතළ ම හේතුව.
ඒ නිසා මේක දිගින් දිගටම ගියා නම් මේක වර්ධනය වෙනව කියන එක ඒ විදිහටම පිළිගන්න බෑ. මොකද, අපි දැන්නවා, නිදහස් කරපු වතාවරණයක් ඇතුළෙ දැන් අපේ රටේ නිෂ්පාදනය කරනව. පිටරටින් ගේන ඒවට තරඟකාරී නිෂ්පාදනයන් ලංකාවේ නිෂ්පාදනය වෙනව. මොකද එහෙම නැතුව බෑ. වෙළඳපොල විවෘත නිසා අපිට බාල බඩුවක් වෙළෙඳපොලට දාන්න අවසර නෑ දැන්. ඒ දවස්වල ඒ අවසරය තිබුණා. මෙන්න මේ කතාව තමයි, අපි තේරුම් ගන්න ඕන කාරණය.
ඒ කියන්‍නෙ70 – 77 යුගයට නැවත යන්න බෑ. ආරක්ෂණවාදි ප්‍රතිපත්තීන්ට නැවත යන්න බෑ. ඉතින් මේ ලෝකය අතීතට යන්න බැරි දුරක් මේ වෙනකොට පහුකරගෙන ඇවිල්ලා තියෙනව. ඉතින් ඒ කාරණය අපි තේරුම් අරගන්‍නෙ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි, මෙන්න මෙහෙම එකක් තියෙනව, අපිට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවනෙ. වසංගතයක්. සමහර ඒවා නැති වෙනව. අපිට පුලුවන්ද බෆර් ස්ටොක් එකක් මේන්‍ටේන් කරන්න.( අතිරික්ත තොගයක් ගබඩා කරන්න ) ඒ කියන්‍නෙ අපි හදන්‍නෙ නැති දේවල් ටිකක් ගබඩා කරන්න. ඒවා තමයි විසදුම්.
අපි ගත්‍තොත් සිංගප්පූරුව, කිසිම ආහාර ද්‍රව්‍යක් සිංගපූරුවෙ හදන්‍නෙ නෑ. ඒවා ඔක්‍කොම පිටරටින් ගේන්‍නෙ. මොන සවංගත තත්ත්වයක් යටතෙ හරි ඔවුන්ට පුලුවන්කම තියෙනව ඒ ගනුදෙනුව කරගන්න. වෙළඳපොළ සම්පූර්ණයෙන් ම ඇහිරිලා නැ. ඇත්තටම අහුරන්න බෑ. අහුරලා ලෝකෙට පවතින්න බෑ – අද වෙනකොට. මේක තමයි ඇත්ත කතාව. අතීතයට යන්න කල්පනා කරන අය බරපතළව ම මේක ගැන හිතන්න ඕන.
මේ එන චින්තනය අපිට තාවකාලික සතුටක් ගෙනදෙන්න පුලුවන්. ඇත්තට ප්‍රයෝගික ජීවිතයේ, ඇත්ත ජීවිතයේ ලෝකෙට මුහුණ දෙන්න බෑ. ඒ වෙනුවට අපිට මොකක්ද කරන්න පුලුවන්. මම හිතන හැටියට අපේ දේ වර්ධනය කරගන්න ඒවට අනුබලයක් දෙන්න අපට හැකියාව තියෙනව. ඒ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරල නෙමෙයි. මොනවද අපිට කරන්න පුලුවන්. අපේ ව්‍යවසායකයින්ට දානු පොලු තියෙනවනි. නිලධාරින් දාන පොලු. ඒ ගොල්ලන්ට වැඩ කරන්න බැරි. ඒවා අයින් කරන්න පුලුවන්.
ව්‍යවසාකයන්ට වැදගත් ම දේ තමයි විදුලි බලය හා බලශක්තිය. මේ දෙක ලාබෙට දෙන්න පුලුවන්. එතකොට තමයි ඒ ගොල්ලට, ව්‍යවසායකයන්ට වඩාත් තරඟකාරී මිලකට නිෂ්පාදනය කරන්න පුලුවන්. එතකොට ඒ වගේ අනුග්‍රහ අපිට දෙන්න පුලුවන්. බදු සහන දෙන්න පුලුවන්. අපිට ඒ අයට තාක්ෂණය සපයන්න පුලුවන්. ‘ටෙක්‍නොලොජි‘ ඒ ගොල්ලන්ට වෙළඳපොලක් හදලා දෙන්න අපිට ලින්ක් හදලා දෙන්න පුලුවන්. ඒ ගොල්ලන්‍ගෙ දැනුම වැඩි කරන්න – ඒවට අවශ්‍ය කරන ඒවා අනුග්‍රහයන් දක්වන්න පුලුවන්. ඒ අනුග්‍රහයන් දක්වන එක ගැන නෙමෙයි මගේ ගැටලුව තියෙන්‍නෙ.
ඒ සියල්ල අපි විසින් කරන අතරෙ ඔවුන් ආරක්ෂා කරන්න. ඔවුන්‍ගෙ දුබල කම් ආරක්ෂා කරන්න, ඔවුන්‍ගෙ බාල බඩු ආරක්ෂා කරන්න අපි යන්න ඕනෙ නෑ කියන එකයි මගේ අදහස. ඉතින්; ඒක නිසා මම හිතනවා. කොරෝනා එක්ක මේ යන සංවාදයේ, අපි හරි තැනක පිහිටුණොත්, අපිට ඉස්සරහට යන්න පුලුවන්. හැබැයි අපි ඒවයින් වැරදි දේ අල්ලගත්‍තොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනව. ඉතින් ඒ නිසා මේ එන සිතුවිලි දිහා විචාරාත්මකව බලන්න. මේ ඒ සඳහා කරන ප්‍රයත්නයක් තමයි මේ.